කුරුණෑගල රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම කඩිනමින්


කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දින (03 )  අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය ලේකම්වරයා  එසේ උපදෙස් ලබා දුන්නේ එම රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති  විශේෂ සාකච්ජාමය අවස්ථාවේදීය.

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව ආරම්භ කිරීම සදහා එම ඒකකයට අවශ්‍යවන ‍ ගොඩනැගිලි පහසුකම් මේවන විටත් ස්ථාපිත කර ඇත. එහි ඇති ශල්‍යාගාර සදහා අවශ්‍ය ශල්‍යාගාර උපකරණ මෙන්ම අනෙකුත් වෛද්‍ය උපකරණද මේ වන විට ස්ථාපිත කරමින් පවතී. රෝහලට අවශ්‍ය හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ද මේ වන විට රෝහලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම ඒකකය දැඩි සත්කාර ඇදන් (ICU Beds) 06 කින්ද, ඉහල යැපුම් ඒකක (HDU Beds) ඇදන් දෙකකින්ද  සමන්විත වේ. ශල්‍යාගාරය අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, ශල්‍ය ඇදන් දෙකකින් ද සමන්විත වේ. මෙහි එකවර ශල්‍යකර්ම දෙකක් සිදු  කිරීමේ නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙහි පිරිමි හා කාන්තා ලෙස හෘද ප්‍රතිකාර වාට්ටු දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. එහි ඇදන් ධාරිතාවය 40 කි.

මෙම ඒකකට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ව්‍යාපෘතිය හරහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුල තවත් Cath Lab ඒකකයක්ද කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී කීහ.   මෙම Cath Lab ඒකකය රෝහල තුළ ස්ථාපිත වන  දෙවන Cath Lab ඒකකය වේ. එම ඒකකය ස්ථාපිත කිරීමෙන් පසු රෝහල තුල සිදුකරන හෘද කැතීටකරණ ශල්‍යකර්ම ප්‍රමාණය දෙගුණයක් දක්වා ඉහල නංවාලීමට හැකිවන බව හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යතුමන්  මෙහිදී ‍ලේකම්වරයාට පෙන්වා දෙන ලදී.

මෙම ඒකකයන් විධිමත්ව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන වෛද්‍යවරුන් මෙන්ම හෙද  නිළධාරිනියන් 80 ක්ද , අනෙකුත් අවශ්‍ය කාර්ය මණ්ඩලයද කඩිනමින් රෝහල වෙත අනුයුක්ත කිරීමට  පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පැවසීය. එමෙන්ම මෙම ඒකකය සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩලයට පුහුණුවීම් සිදු කිරීම සදහා අවශ්‍ය ක්‍රමවේදයන් ද සකසන ලෙසටද නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම නව සේවාව මෙන්ම දෙවන කැත්ලැබ් ඒකකය ආරම්භ කිරීමත් සමග වයඹ පළාතේ ජනතාවට මෙන්ම  යාබද පළාත්වල ජනතාවටද මෙමගින්  සේවාව ලබා ගැනීමේ හැකියාව පවතින බව කී ලේකම්වරයා මෙරට ජනතාවට ගුණාත්මක, විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ බව පැවසීය.

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කල යුතු අත්‍යාවශ්‍ය අලුත් වැඩියාවන් හා අත්‍යවශ්‍ය කටයුතු සදහා මෙම වසරේ මේ  වන තෙක් රෝහලට රුපියල් මිලියන 890 කට ආසන්න මුදල් ප්‍රතිපාදනද ලබා දී ඇත.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාං‍යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එම්.සී.අයි. හේරත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියන්ගනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලි සමරකෝන්  යන මහත්ම මහත්මීන්ද , විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

 

 



Recommended Articles