කුරුණෑගල PCR 207න් 206ක් සෘණාත්මකයි


කොරෝනා ආසාදිතයින් හමුවූ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 207 කින් 206 ක්ම ඍණාත්මක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ප්‍රකාශ කළාය.

ඊයේ (1දා) වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කුරුණෑගලදී පැවති සාකච්ඡාවකදී වෛද්‍ය ශාන්තිලතා මහත්මිය මේ බව සඳහන් කළාය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වූ කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් විල්ගොඩ කම්කරු නිවාස පද්ධතියේ පදිංචිකරුවන් සඳහා සහ මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සඳහා මෙම පී.සී.ආර්. පරීක්ෂාවන් සිදු කෙරිණි.

ඊයේ දිනය වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැක සහිත පුද්ගලයන් 5380 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කර තිබෙන අතර ඉන් තවත් 400 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 185 කි.



Recommended Articles