කැරට් මිල රොකට් වේගයෙන් ඉහළට කිලෝව රු. 1400යි


ඇතැම් ප්‍රදේශවල  අමුමිරිස් කිලෝවක් සිල්ලර මිල රු.1800 දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රු.1500 දක්වාත්  කැරට්  කිලෝවක මිල රු.1400 දක්වාත්  ඉහළ ගොස් තිබේ.

බෝංචි කිලෝවක සිල්ලර මිල රු.800 දක්වා ඉහළ ගොස් තිබෙන අතර  සමහර ප්‍රදේශවල සියඹලා හිඟයක් ද ඇති වී තිබේ. සියඹලා ග්‍රෑම් සියයක මිල රු.250 දක්වාත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

සමහර ප්‍රදේශවල පොල් හිඟයක්ද ඇති වී තිබේ.  පොල් ගෙඩියක මිල රු.260 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල නාඩු සහල්  හා කීරි සම්බා සහල්  හිඟයක් ද ඇති වී තිබේ.

පොදුවේ සැලකීමේදී සෑම එළවළුවකම මිල ඉහළ ඉහළ ගොස් තිබෙන අතර බීට් රූට්, ගෝවා හා  මෑකරල්  කිලෝවක සිල්ලර මිල රු.400ඉක්මවා ගොස් ඇත.

මේ පිළිබඳව අද පුවත්පත  සීමාසහිත  සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථා හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන  මහතාගෙන් විමසීමක් කළේය.

කැරට්,අමු මිරිස්,මාළු මිරිස් තොග ලැබීම විශාල ලෙස අඩු වී තිබෙන නිසා  මෙම එළවළු මිල සැලකිය යුතු මුදලකින් ඉහළ ගොස් තිබෙන බව ඔහු පවසා සිටියේය.

මේ අනුව අද (16දා) දිනයේදී මැනිං වෙළෙඳ පොළෙහි කැරට් කිලෝවක තොග මිල රු.1000 දක්වාත්  අමුමිරිස් කිලෝවක තොග මිල රු.1500 දක්වාත්  මාළු මිරිස් කිලෝවක තොග මිල රු.1200 දක්වාත් ඉහළ ගොස් තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

පොදුවේ එළවළු තොග ලැබීම  පහත වැටී තිබීම අනුව මිල ඉහළ යාමක් සිදුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

 



Recommended Articles