කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් 02/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතික විවාහක යුවළකි . සැමියා 40 හැවිරිදි වියේ පසුවන අතර බිරිඳ 34 හැවිරිදි වියේ පසුවන්නියකි .
ඔවුන් 02/17 දින රාත්‍රී 08.35 ට ජපානයේ නරීටා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් දෙදෙනා , සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනඩාවේ වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ .
එහිදී එම නිලධාරීන් මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙරට තැරැව්කරුවෙකු වෙත රුපියල් ලක්ෂ අසූවක් ගෙවන බවට පොරොන්දු වී , මෙරටින් පිටත් වීමට පෙර එම මුදලින් රුපියල් ලක්ෂ හැට පහක් ගෙවා මෙම කැනඩා වීසා බලපත්‍ර දෙක සකස් කර ගත් බව ප්‍රකාශ කර තිබේ .
එසේම තමන් මුලින්ම ශ්‍රී ලංකාවේ කටුනායක සිට ජපානයේ නරීටා වෙත ගොස් එතැනින් කැනඩාවේ වෑන්කූවර් වෙත පළා යාමට සැළසුම් කර තිබූ බව ද එම නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබුණි.
ඒ අනුව අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ