පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"අනුරාධපුරය එක් අතකින් පූජනීය නගරයක්. අනිත් අතින් සංචාරක ආකර්ශනය දිනා ගත් ඓතිහාසික නගරයක් බවට පත් කරන්න ඕන. මේ සදහා මම කමිටුවක් පත්කරනවා හැම අංශයකින්ම. ප්‍රංශයෙන් හරි නැත්නම් වෙනත් රටකින් අපි උපදේශකවරුන් ලබාගෙන මේ අනුරාධපුර නගරය කොහොමද සංස්කෘතික, ඓතිහාසික සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරන්නේ කියලා අපි කතා කර ගනිමු. එමගින් අනුරාධපුරයට නව ආර්ථිකයක් ලැබෙනවා.
ජපානය, දකුණු කොරියාව, චීනය වැනි රටවල සංචාරකයින් අපේ රටට පැමිණෙනවා. අද ප්‍රධාන අංගයක් ලෙස මහා විහාරයේ කැණීම් කටයුතු සිදු වෙනවා. මහා විහාරයේ බුද්ධාගම තමයි මියන්මාරයේ, තායිලන්තයේ, ලාඕසයේ, කාම්බෝජියාවේ සහ දකුණු වියට්නාමයේ තිබෙන්නේ. එම රටවල සිට පැමිණෙන සංචාරකයින් අපට ප්‍රමාණවත් මේ කටයුතු ආරම්භ කරන්න.
අද රටේ ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා සිටිනවා. එහෙම පීඩනයක් ඉතිහාසයේම තිබුණේ නැහැ. අපි එම තත්ත්වයෙන් ගොඩඑන්න ඕනෑ. අපේ ආර්ථිකය පසුගිය වසරට වඩා 8%කින් අඩුවෙන්න යනවා. එය සීග්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. එහි විපාකය සියලුදෙනාට අත්විඳින්න වෙනවා. මෙහෙම සිදුවන විට අපි බලන්න ඕන මේ තත්ත්වය ආපසු හරවා දියුණු වෙන්න. මේ ආර්ථික සංවර්ධනය කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.
අපි මේ මහකන්නයේ ගොවිතැන් කටයුතු සාර්ථකව කරවනම් පහත වැටුණු ආර්ථිකය නැවත ගොඩනගා ගන්න පුලුවන්. මහ කන්නයට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා දැන් අපිට ආධාර ලැබිලා තිබෙනවා. ඒවගේම පොහොර සහනාධාරය ලබා දෙනවා. අවශ්‍ය බීජ ලබා දෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමේ ඒ වැඩකටයුතු කරගෙන යනවා. අපිට අවශ්‍ය මහ කන්නය ඉතා සාර්ථක කර ගන්න. එතකොට මේ ආර්ථික පීඩනය අඩු කරගත හැකියි.
ලබන වසරේදී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය තවදුරටත් වැඩිකරගන්න පුලුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපනයන අංශයෙන් දැන් අපට මුදල් එනවා. රුපියලේ ස්ථාවරත්වය ඇතිවුණහම නැවත මැද පෙරදිග මුදල් ඝෘජුව ලංකාවට ලැබෙනවා.
අපේ පිහිට දැන් අපිම විතරයි. පිට අයගෙන් තිබෙන පිහිට දැන් අපට ලබා දී අවසන්. ඉන්දියාවෙන් අපට ආධාර දුන්නා, ලෝක බැංකුවෙන් ඒ වගේම අනිත් රටවලින් අපිට ආධාර ලබා දී තිබෙනවා. මේ සහනත් සමග අපේ කෘෂි විප්ලවය වී ගොවිතැනින් ආරම්භ කරමු.
මේ වැඩකටයුතුවලදී විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වගකීමක් පැවරී තිබෙනවා. මොනවද අඩු පාඩු, මොනවද වෙන්න ඕන කියලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න. ඒගොල්ලෝ ඒවා පාර්ලිමේන්තුවේ කතා කරනවා. මේ සියල්ල සමග අපිට පුළුවන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරන්න.
ඒ වගේම බිම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. එම වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.
ඔබතුමන්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස මේ වැඩකටයුතු කරගෙන යන්න. හිටපු මන්ත්‍රීවරුන්ටත් මේවට සම්බන්ධවෙලා හොදින් වැඩකරන්න අවස්ථාව තිබෙනවා. අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුවෙන්ම හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න වුවමනා නැහැ. දැන් ආණ්ඩුවෙන් ජීවත් වුන කාලය ඉවරයි. ජනතාව දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික ගැටලුවලට විසඳුමක් සොයා දෙන්න කියලා. එය අප කළයුතුයි. ජනතාව අපෙන් ඉල්ලන්නේ එකට එකතුවෙලා මේ පීඩනය නැති කරලා දෙන්න කියලයි. ඒ පණිවිඩය අපි තේරුම් ගන්න ඕන.
පරණ දේශපාලනයේ ඇලී සිටීමෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කළාට රටේ ප්‍රශ්න විසදෙනවා කියලා ජනතාව හිතුවේ නැහැ. ඒකයි මේ තරුණ අය ඇවිල්ලා තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළේ. ඒකට මම කියන්නේ සාමකාමී අරගලය කියලා. පසුව වෙන අය ඒක ප්‍රචණ්ඩ අරගලයක් බවට පත් කරගත්තා. ඇයි මේ පිරිස මෙතනට ආවේ, මේ ප්‍රශ්නය විසදන්න ඕන, මේක අතහරින්න එපා. ඡන්දයක් තියෙනවා කියලා පැනලා යන්න එපා. ඊට ඉස්සෙල්ලා ඉදිරිපත්වෙලා මේ වැඩකටයුතු කරන්න.
අද මෙතන ඉන්නේ පක්ෂ 03කට සහයෝගය දුන්න අය. එක්සත් ජාතික පක්ෂයටයි, පොහොට්ටුවටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒත් මම මේක ඔබට පමණක් සීමා කරන්නේ නැහැ. අනිත් පක්ෂවල අයටත් එන්න කියන්න. සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ගන්නවනම් එහෙනම් කියන්න පුලුවන් ආණ්ඩුව දෙන්න කියලා. ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ.
බලය අවශ්‍යනම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා මම කැමති ඒ හැම දෙනාම එකට එකතු කර ගන්න. එය ජයශ්‍රී මහා බෝධීයේ ඉදලා මිහින්තලයට යනකම් අටමස්ථානවල හැම නායක ස්වාමින් වහන්සේ නමක්ම මේ පණිවිඩය තමයි මට කිව්වේ. අපි පරණ ක්‍රමයට ගිහිල්ලා වැඩක් නැහැ. මාධ්‍යයත් ඒක මතක තියා ගන්න ඕන. අපි සියලුදෙනා එකට එකතුවෙලා ඉදිරියට යමු කියලා මම කියන්න කැමැතියි.
බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ අනුරාධපුර ශුද්ධ නගරය වෙන් කරලා නව නගරයක් හදන්න තීරණය කළේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී ඩී.එස් සේනානායක මැතිතුමා. ඒ වැඩකටයුතු භාරදීලා තිබුණේ සොලමන් වෙස්ට් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයාට. මේ පක්ෂය හදද්දි එහි නායකයා ලෙස ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නම යෝජනා කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා. තව මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පක්ෂය හදන්න උදව් කළා. ඒ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය එහි උල්පතයි. ඒ උල්පතෙන් තමයි මේ සියල්ල ආවේ. මම කියන්නේ නැහැ ඒ උල්පතට ආපසු එන්න කියලා. ඒත් අප සියලුදෙනා එකට එකතු වී රට ගොඩගනිමු.
මේ රටට නිදහස ලබාගන්න සියලුදෙනා එකට එකතු වී වැඩ කළා. නිදහස ලබාගැනීමෙන් පසුව තමයි වෙන් වුණේ. දැන් ඒ වගේම අසීරු කාලයක් අප ඉදිරියේ තිබෙනවා. අපි සියලුදෙනා එක්විය යුතුයි. වමේ නායකයොත් නිදහස ලබා ගන්න එකට එකතු වුණා. පළමු විපක්ෂ නායකයා වුණේ එන්.එම්. පෙරේරා. ද්‍රවිඩ නායකයොත් හිටියා, පොන්නම්බලම් වගේ අය. මේ සියලුදෙනා එකට එකතු වුණා. යළිත් අපි සියලුදෙනා එකතුවෙලා වැඩකළයුතු කාලය දැන් උදා වී තිබෙනවා.
අපි මේ රට ගොඩනගමු. අපි එකට වැඩකරන විට නව දේශපාලන න්‍යායක් ලැබෙයි. පරන ක්‍රමයට යන්න බැහැ. අපි අලුත් ක්‍රමයකට යමු. අපි ශිලාචාර දේශපාලන ගමනක් යන්න ඕන. අද ඡන්දයකට ගිහිල්ලා බලය ගන්න පුලුවන් කියලා කවුරුත් හිතන්න එපා. මෙයයි සත්‍ය. අපි සත්‍ය කතා කරමු. ඒ නිසා අපි සියලුදෙනා මේ වගකීම භාර අරගෙන කටයුතු කරමු."