කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීම ගැන විමර්ශනයට පොලීසියෙන් කමිටුවක්


අතුරුගිරිය පොලිසිය මගින් හබරකඩ ප්‍රදේශයේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල නමැති ලේඛකයා අත්අඩංගුවට ගැනීමේදී නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය කර ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා කොළඹ දකුණ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති  වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙම සිදුවීම ඉකුත් 20 දා සවස 6 - 7 අතර කාලය තුළදී සිදුව ඇති අතර අතුරුගිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් ත්‍රී රෝද රථයකින්  අපරාධ නිවාරණ රාජකාරියකට යමින් සිටියදී අතුරුගිරිය ප්‍රදේශයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කර තිබේ.එහිදී ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ නිසා ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රී රෝද රථයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඔහුව පරීක්ෂා කර තිබේ.

එහිදී සිදුකළ ප්‍රශ්නන කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මියගිය රංගධරයකු වන ජැක්සන්  ඇන්තනී මහතාගේ දියණිය විවාහ වී සිටින ලේඛකයකු වන  කසුන් මහේන්ද්‍ර හීනටිගල නැමැත්තා බවයි.

ඉන් පසුව පොලිසිය කළ දැනුම් දීමකට අනුව කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතාගේ ඔහුගේ බිරිඳ හා සහෝදරිය හරහා ඔහුගේ අනන්‍යතාවෙ තහවුරු කිරීමට  අවශ්‍ය ලේඛන පොලිසියට ගෙන්වාගෙන තිබේ. ඉන් පසුව එම ලේඛන පරීක්ෂා කොට එම පුද්ගලයා  පොලිස් ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ඉන් පසුව කසුන් මහේන්ද්‍ර හීනටිගල නැමැත්තා සිය මුහුණු පොත හරහා මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දන්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන ලෙසටයි.ඒ අනුව ඔහු ඉකුත් 21 දා පොලිස් සහන මැදිරියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ තමා නිවසට අවශ්‍යය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහා නිවස අසල පිහිටි වෙළඳ සැලකට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගිය බවත් ඒ යන අතරතුරදි ඔහුට ශාරීරිකව වද හිංසා කළ බවත් ඉන් පසුව සිය ආනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සිය සහෝදරිය හා බිරිද ලේඛන රැගෙන පොලිසියට පැමිණි අවස්ථාවේදී බිරිඳගේ මියගිය පියා වන ජැක්සන් ඇන්තනී මහතාට අපහාස වන අන්දමින් ක්‍රියාකළ බවත් බිරිද හා සහෝදරිය මානසික පීඩනයට ලක් වන ආකාරයෙන් කටයුතු කළ බවත් සිය අත්අඩංගුවට ගැනීම අනීතික බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කොට සාධාරණය ඉටු කරන ලෙසත් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ,

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ   අංක 32 සහ 33 යටතේ වරෙන්තුවක් නොමැතිව ඕනෑම පුද්ගලයකු පොලිස් නිලධාරියෙකුට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා.

එහෙත් අත්අඩංගුවට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයක් වෙත රැගෙන යා යුතුයි. පසුව ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඔහුට අපරාධවලට සම්බන්ධදැයි පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ වෙනත් පොලිස් ස්ථානවලට පොලිස් නිවේදන යවා පරීක්ෂා කිරීමක් කෙරෙනවා.

ඊටත් අමතරව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන තවදුරටත් විමර්ශනය කළ හැකියි. මේ සඳහා පැය දෙකක පමණ කාලයක් වැය වෙයි. ඉන් පසුව අවශ්‍ය නම් එම පුද්ගලයා බල ප්‍රදේශයේ අධිකරණයකට ඉදිරිපත් කිරීම හෝ පොලිස් ඇප මත නිදහස් කිරීමේ හැකියාව තිබෙනවා.

නමුත් මෙම සිදුවීමේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී නීතියේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් පසුව තමයි අවසන් නිගමනයට එළඹිය හැක්කේ. ඒ නිසා වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන්  කොළඹ දකුණු කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයේදී අදාල නිලධාරීන් නීත්‍යානුකූලව ක්‍රියාකර නොමැතිනම් ඊට එරෙහිව අනිවාර්යෙන්ම පියවර ගන්නා බව පැවසීය.

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles