කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කරගෙන සිටි ගබඩා භාරකරුට රු. 20000ක දඩ


කල් ඉකුත් වූ සහ ගුල්ලන් සහිත මිනිස් පාරිභෝජනයට නුසුදුසු කඩල සහ වටනා පරිප්පු කිලෝ තුන්දහසක තොගයක් ගබඩා කරගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ ආහාර ගබඩාවේ බාරකරුට රුපියල් 20,000/-ක දඩයක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අදාළ ආහාර තොගය විනාශ කිරීමට පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඊයේ (10) නියෝග කළාය.

මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සහ ගුල්ලන් සහිත කඩල සහ වටනා පරිප්පු තොගය විනාශ කිරීමට නියම කරන්නැයි පෑලියගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්මාල් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළගනිමින් මහේස්ත්‍රාතවරිය එලෙස නියෝග කළාය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පෑලියගොඩ නුගේ පාරේ අදාළ ආහාර ගබඩාවේ භාරකරු වු වේළු අත්පුදරාජ් නමැත්තාටය.

කල් ඉකුත් වූ සහ ගුල්ලන් සහිත මිනිස් පාරිභෝජනයට නුසුදුසු කඩල හා වටනා පරිප්පු තබාගත් බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී පෑලියගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළේය.

මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩා කර තබා ගැනීම, කල් ඉකුත් වූ ආහාර දින වෙනස් කොට වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කිරීම, ආහාර ගබඩා කිරීමට නුසුදුසු පරිසරයක ආහාර ගබඩා කිරීම සහ මනා සෞඛ්‍යයකින් හෙබි කම්කරුවන් යොදා නොගැනීම ඇතුළු චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබිණී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පෑලියගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්මාල් ද සිල්වා මහතා 2025 පෙබරවාරි මාසයේ කල් ඉකුත් වීමට ආසන්න ආහාර, 2025 ජුනි මාසයේ කල් ඉකුත්වන බව සඳහන් ලේබල් ගසා ඇතැයි දැනුම් දුන් අතර මෙම ආහාර තොගය විනාශ කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට රුපියල් 20,000/-ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරිය ආහාර තොගය විනාශ කිරීමට නියම කළාය.

 



Recommended Articles