කපිලට සහ උදයංගට ඇමෙරිකාවෙන් සම්බාධක


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් වෙත සම්බාධක පමුණුවන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ මානව හිමිකම් දිනය නිමිති කරගනිමින් එක්සත් ජනපදය මෙම සම්බාධක පැනවීම සිදු කර ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ගෝලීය වංචාවන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වැළැක්වීම සඳහා වන වගවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සම්බාධක පැමිණ වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතරින් කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි අවස්ථාවේදී එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී වෙළෙද පොළ වටිනාකම වඩා වැඩි මුදලට ඒවා මිලදී ගැනීම සහතික කිරීම වෙනුවෙන් අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වන චෝදනා යටතේ මෙම සම්බාධක පැමිණ වී තිබේ.

එසේම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මිග් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේදී සිදු කළ බව පැවසෙන වංචා සහ ඒ හරහා පෞද්ගලිකව ලබා ගත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා යටතේ සම්බාධක පැමිණ වී තිබේ.

මොවුන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් 14 දෙනෙකු වෙත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සම්බාධක පනවා ඇත.  මෙම පිරිස අතර උතුරු මැසිඩෝනියාව, ඉන්දුනීසියාව, රුසියාව, සිරියාව, යේමනය සහ බටහිර ඉවුරේ වෙසෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ඇතුළත් වෙයි.

මෙම සම්බාධක පැනවුණු පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කෙරෙන අතර, දැඩි වීසා නීති පැමිණවීමටත් කටයුතු කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 



Recommended Articles