ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙන තුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.
රුහුණ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කළ දැනුම් දීමකට අනුව විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වේ.
විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොණරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඊයේ (05දා) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණ.කතරගම මහ දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් අපලයකට භාර කළ රන් තැටියක් අතුරුදහන්වීම ඇතුළු චෝදනාවට ලක් වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා විසින් කරන ලද පැමිණිල්ල මත මෙම විමර්ශනය අරඹා ඇතත් විගණනයට ලක් නොවන්නේ දේවාලයේ මාසය කරන එක කපුවෙකුට දේවාලයට ලැබෙන පඬුරුවලින් මාසෙකට රුපියල් කෝටි හතරක පමණ මුදල් ඔවුන් ගන්නා බව එහි පැමිණි විගණන නිලධාරීන්ට දේවාලයේ රාජකාරි කරන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ .
බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිද භාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබේ.විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීමක් මත මෙවැනි විගණනයක් කළ යුතු වුවද, අඩුම තරමේ විගණන කටයුතු සඳහා පැමිණෙන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ව දැනුවත් කිරීමක්වත් නොකර ඇතැයි හෙළි වී ඇත.
කෙසේ වුවද බස්නායක නිලමේවරයා පවසන්නේ, මෙම විගණනය තමන්ට ලැබුණා වූ දේව ආශිර්වාදයක් බවයි. මේ විගණනය මගින් තමන් විසින් කතරගම දේවාලයේ ආධාර මනා විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යන අකාරය රටටම අනාවරණය වනු ඇතැයි පවසන බස්නායක නිලමේවරයා, විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමට තමන්ගේ උපරිම සහාය දෙන බවද කියා සිටියේය.
සෙල්ලකතරගම -අසිත වීරසිංහ/කතරගම -ආරියපාල රත්නායක