කතරගම දෙටගමුව සුරා සැල මගේ නෙමෙයි


“කතරගම දෙටගමුවේ තියෙන සුරා සැල මා විසින් කරගෙන යන එකක් කියා චෝදනා එල්ල කර තිබුණා.මේක තනිකරම අසත්‍යයක්.මගෙන් කිසිදු විමසීමක්වත් නොකර ඒ බව පුවත් පත්වල පවා පළ කරලා තිබුණා.මේ සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදය පළකරනවා”  හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24දා) අද කළ විමසීමකදී පැවසීය.

කතරගම, දෙටගමුව ප්‍රදේශයේ නව සුරා සැලක් විවෘත කිරීමත් සමග මහා සංඝ රත්නය විසින් ඊට විරෝධය පළකරමින් එය වසා දමන තෙක් ප්‍රදේශයේ දහම් පාසැල් වසා තැබීමට 23 දින තීරණය කර තිබේ. මෙම සුරාසැල ආරම්භ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටය.ඒ අනුව මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් සිදු කළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“කතරගම මට සුරා සැලක් නෑ. කතරගම දෙටගමුවේ දැම්ම සුරා සැලට මගේ කිසිදු සම්බන්ධයක් නෑ.කතරගම ස්වාමීන් වහන්සේලා  මේ සම්බන්ධයෙන් මගේ නම සඳහන් කරමින් මේ කරන ප්‍රකාශය ගැන මම දැඩි ලෙස කණගාටු වෙනවා.මේක මට මඩ ගහන්න කරපු වැඩක්.කතරගම තව බාර් ලයිසන් තියෙන හෝටල් දහයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ අතරිනුත් කතරගම පූජා භූමියේම තියෙන බාර් හතරක ප්‍රසිද්ධියේම අරක්කු විකිණීම සිදුකරනවා.මේ විරෝධතාව දක්වන පිරිස ඒ සියල්ලටමයි විරෝධය දැක්විය යුත්තේ.

ඒවාට කිසිදු විරෝධතාවක් නොදැක්වීම පුදුම සහගතයි.අනික බාර් කිහිපයක්ම පහුකරගෙන ඇවිත් දෙටගමුවේ සුරා සැලට පමණක්ම පිරිසක් විරෝධය පෑම විහිළුවක්.කතරගම පූජා නගරයට අරක්කු බාර් එපා නම් සියලුම ඒවා ඉවත් කරන්න කියලා තමයි විරෝධය දක්වන්න ඕනේ.

එහෙම නැතිව එක් සුරා සැලක් ඉලක්ක කරගෙන මෙලෙස විරෝධය පෑම විහිළුවට කරුණක්.මගෙන් කිසිදු විමසිමක් නොකර පුවත්පත්වල මගේ නම සඳහන් කරමින් කතරගම බාර් එක මම පවත්වාගෙන යන්නේ කියලා පළකර තියෙනවා.මාධ්‍ය සදාචාරය කියන්නේ මේකට නෙමේ.මේ පුවත වාර්තා කළ මාධ්‍යවේදීන්ට තිබුණා මගෙනුත් මේක ඇත්තද කියලා විමසීමක් කරන්න.එහෙම කිසිදු විමසීමක් නොකර මගේ නම පළකිරීම සම්බන්ධයෙන්  මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

කතරගම ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා 23 වැනි දින කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී එක් රැස් වූ අතර එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ කතරගම දෙටගමුවේ ආරම්භ කළ නව සුරා සැල වසා දමන තෙක් දහම් පාසැල් නොපවත්වන බව ය. කතරගම හෝටල් තුළ මත්පැන් අලෙවි සැල් පවත්වාගෙන යන්නේ පැමිණෙන විදේශිකයන්ට බවත්, ඒ මුවාවෙන් මෙම සුරා සැල ආරම්භ කිරීමට ඉඩදිය නොහැකි බවත් මෙහිදී උන්වහන්සේලා පැවසූහ.



Recommended Articles