කටුනායකට ආපු විස්තාරා ගුවන් යානයට දෙවැනි වරටත් බෝම්බ බියක්


ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දීය විස්තාරා ගුවන් සේවයේ යානය තුළ බෝම්බ ඇති බවට ,ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයේ ටුවිටර් ගිණුම වෙත ලැබී තිබූ පණිවිඩයක් මත කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගුවන් යානය පූර්ණ හදිසි ගොඩ බැස්සවීමකට ( Full Emergency Landing ) 10/24 දින පස්වරුවේ ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව 10/24 දින පස්වරු 02.56 ට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 130 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි.

එයාර් බස් වර්ගයේ ඒ.- 320 වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 107 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

මෙම ගුවන් යානයේ හදිසි ගොඩ බැස්සවීම සදහා ගිනිනිවීම් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගිලන් රථ , බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් , ගලවා ගැනීමේ සහ සහන සේවකයින් , පුපුරන ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට පුහුණු කළ සුනඛයන් , පුපුරන ද්‍රව්‍ය කල් තබා හදුනා ගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් භට පිරිසක් ඇතුළු  විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය අසළට රැස් කර සිටියහ .

විස්තාරා ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , ගුවන් යානය ධාවන පථයේ කෙළවර වෙත රැගෙන ගොස් , පරීක්ෂණ කටයුතු සිදු කෙරුණි .

මුළින්ම ගුවන් යානයේ පැමිණි මගීන් සහ කාර්යය මණ්ඩලය පරීක්ෂා කර පිටතට ගත් අතර , පසුව ගුවන් යානයේ ගමන් මලු සදහා භාණ්ඩ ගබඩා ප්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරුණි .

ඒ අනුව 10/24 සවස 05.00 පමණ වනවිට මෙම ගුවන් යානයේ සියලුම පරීක්ෂා කිරීම් නිමා කර තිබූ අතර , මෙම ගුවන් යානය තුළ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බව ගුවන් තොටුපොළ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම ගුවන් යානය තුළ ඉකුත් 10/19 වැනි දින ද බෝම්බ ඇති බවට , කටුනායක ගුවන් තොටුපොළ වෙත තොරතුරු වාර්තා වීමත් සමගම , මේ ආකාරයටම , මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමකට ලක් කළ අතර ඉන්දීය  ගුවන් සේවා සමාගම් සියල්ලටම මේ ආකාරයට බෝම්බ තර්ජන එල්ල වෙමින් පවතී .



Recommended Articles