කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් තවත් ආසාදිතයින් 39ක්


ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/15 දින සවස 5.30 වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම කළාපයට බාහිරින් පිහිටා ඇති කර්මාන්තශාලා වලින් තවත් කොරෝනා ආසාදිත සේවකයින් 16 දෙනෙකු ද සොයාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

 එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළින්  ගත වූ පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 89 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් රෝගීන් 78 දෙනෙකු දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුළ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර , ඉතිරි 11 දෙනා දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල් වලින් සොයාගෙන ඇති බවද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ  මේ දක්වා කාළය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 18,133 ක් සිදු කර ඇති අතර ,

එයින් තවදුරටත් 7,020 කගේ පමණ ප්‍රතිඵල වාර්තා නිකුත් වී නොමැති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින් 36 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදිත බවට 10/14 දින රාත්‍රී තහවුරු වීමත් සමගම , එයින් 20 දෙනෙකු   කටුනායක , සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ තාවකාලිකව පදිංචි වී කටුනායක කර්මාන්තශාලා වල සේවයේ යෙදෙන්නන් බව ද එම කළාපයේ පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් කුමාර මහතා පැවසීය .

ඒ අනුව කටුනායක , සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .

මෙසේ අනාවරණය වූ ආසාදිතයන් පිරිස මොරටුව , ලුනාව රෝහලටත් , කුරුණෑගල , අබන්පොළ රෝහල වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ බව ද පරිපාලන මහජන  සෞඛ්‍ය නිලධාරී සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 

 



Recommended Articles