ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ


ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ මහතා අද (28) පෙරවරුවේ නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ 26 මහලේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේදී එම තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

මනුජ වීරසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු උපසභාපතිවරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා විද්‍යා විවර්ධන සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වේ. දශක තුනකට අධික කාලයක් ඖෂධ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනු ලබන මනුජ වීරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස “සබුද්ධික“ සෞඛ්‍ය සදහා වු ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආරම්භක සාමාජිකයෙකි.

සිය තනතුරේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව සභාපති  විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ මහතා කියා සිටියේ මෙරටට අවශ්‍ය ගුණාත්මක, තත්ත්වයෙන් උසස් ඖෂධ කිසිදු හිගයකින් තොරව කඩිනමින් මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබා දෙන බවය. එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් වුවත් සියලු දෙනාගේ සහයෝගයෙන්  එය සිදුකල හැකි බවද ඒ මහතා පැවසීය.

රජයේ දැක්ම මෙන්ම මෙම ආයතනයේ නව දැක්මද සමානව පවතින බැවින්, පෞද්ගලිකවම තමා වසර 35 කට අධික කාලයක් මෙම ක්ෂේත්‍රය පිළිබද ලැබූ පෞද්ගලික අත්දැකීමද එයට එක්කිරීමෙන් පැවරී ඇති කාර්ය ඉටුකිරීමට තමාට පහසුවක් වනු ඇතැයි සදහන් කලේය.

 



Recommended Articles