ඕමානයේ සිට පැමිණි පිරිසක් PCR කරන්න මුදල් නෑ කියයි


ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින් අද (03දා) දින උදෑසන විරෝධතාවක් පළ කර තිබේ.

උදෑසන 7.40 ට එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම පිරිස අතර සිටි ගුවන් මගීන් 20 දෙනෙකු පමණ, තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා මුදල් නොමැති බව සඳහන් කරමින් විරෝධය පළ කර බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

පසුව  මෙම මගීන්ගේ ඉල්ලීම සලකා බලා, ඔවුන් ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය

මෙම මගීන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා අවස්ථාවේ දී කටුනායක ගුවන් තොටුපළේ දී මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බවට දැනුවත් කිරීමක් සිදු කරන බව ඕමාන් ගුවන් සේවයේ ප්‍රකාශිකාවක් පැවසීය.

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු ගුවන් මගීන් නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.



Recommended Articles