‘ඔන් ලයින්’ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (05) දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙසේ දැනුම් දුන්නේ අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීණ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරේ වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
ඔන්ලයින් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකළ බවත් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට කළ යුතු සංශෝධන ගණනාවක් රජයට යෝජනා කර තිබූ බවත් පෙත්සමිකරුවෝ සඳහන් කරති.
ඒත් පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ නිර්දේශ ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බවත් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් ප්‍රකාශ කරන පෙත්සම්කරුවෝ ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද අදාළ පනත සම්මත කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් ‘ඔන්ලයින්’ පනතට සංශෝධන ගෙන ඒමට පසුගිය රජය සමයේ පියවර ගෙන තිබුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාළ වූ බව දැනුම් දුන්නේය.
මේ වන විට සම්මත කර ඇති අදාළ ‘ඔන්ලයින්’ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි කී සොලිසිටර් ජනරාල්වරයා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත යැයිද කීය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විරාන් කොරයා සහ නීතිඥ සේනානි දයාරත්න යන මහත්වරු කරුණු දක්වමින් පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.
ඒ අවස්ථාfවේදී පෙත්සම්කාර නීතිඥවරුන් ඇමතූ විනිසුරු මඩුල්ල අදාල පනතට සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රගතිය සලකා බැලීමෙන් පසු පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බව දැනුම් දුන්නේය. කරුණු සළකා බැලීමෙන් අනතුරුව ජුනි 23 වැනිදා පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
සචිත්‍ර ගුණසේකර