එල් බෝඩ් පාර්ලිමේන්තුවක් ආවොත් රටේ විශාල අර්බුදයක්


ණය ගෙවීමට නොහැකි වුණොත් නැවතත් පෝලිම් යුගයකට ගමන් කළ හැකි බවත්, 2028 දී ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  "එල් බෝඩ්"පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටේ විශාල අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය. ගෑස් සිලින්ඩරයෙන් තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනරැලිය අමතමින් මරදානයේදී අද (11දා) පැවති රැස්වීමේ දී ඔහු එසේ පැවසීය. 

ජනපතිගේ සිට මාලිමාවේ කිසිම පාලකයෙකුට පළපුරුද්දක් නැති බව දැනටමත් ඔප්පු වෙමින් තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පලපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ඇති ගෑස් සිලින්ඩර අපේක්ෂකයන් බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යවන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

 අවසන් ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.“මේ රටේ තිබුණු පෝලිම් සියල්ල අප විසින් නතර කළා.අපි මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සියල්ල කළමනාකරණය කර ගත්තා. 2028 වන විට අප ණය ගෙවීම ඇරැඹිය යුතුයි.ඊට2042 වෙනතුරු කල් තිබෙනවා.

ණය ගෙව්වේ නැතොත් නැවත පෝලිම් යුගයකට යන්න වෙනවා.මේ වනතුරු ජනපති ආර්ථික දැක්ම කියලා නැහැ.විශාල අවිනිශ්චිත බවක් තිබෙනවා.දැන් සහල් හොයාගන්නට බැහැ.පොල් මිල පොල් ගහටත් වඩා උස වී තිබෙනවා.බඩු මිල නෙළුම් කුලුන වගේ උඩට යනවා.බිත්තර මිල වැඩි වෙනවා.මේවා විසඳගන්න ආණ්ඩුවට පුළුවන්ද?

මේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගෙනාවා.දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?මූල්‍ය අරමුදල සමග කොළඹදී සහ වොෂින්ටන් නුවර දී සාකච්ඡා කළා. දැන් තුන්වන වාරිකය ගැනීම සඳහා සාකච්ඡා කරනවද?

මාලිමාව ජනාධිපතිවරණයේ දී බදු සහන දෙන බව කිව්වා. ඒවා ලැබෙනවාද? නැද්ද? කියා ප්‍රකාශයක් කරන්න.රට ඉදිරියට යනවා නම් සියයට අටක විතර වාර්ෂික ආර්ථික සංවර්ධනයක් තිබිය යුතුයි. මේවා ලබා ගන්නේ කොහොමද?ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තබාගන්නවාද? කියා කියන්න.

මාලිමාව ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනට සිදුවී තිබෙන්නේ කුමක්ද?ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන ආර්ථික වැඩසටහන අනුව ආණ්ඩු පාලනයේදී කරන්න පුළුවන්ද?ජාතික ජන බලවේගයේ වියත් මගේ අය ඉන්නවා.ඔවුන් ගෝඨාභය ජනාධිපතිවරයා නැති කළා. මේ අයත් නැති කරන්න ඔවුන් දැන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා.රටට විවෘත ආර්ථිකයක් තිබිය යුතුයි. මා හැම වෙලේම ආර්ථිකය විවෘත කළා.

මාලිමාවේ තිබෙන සැලසුම් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.ඒ බව දැන් ඔප්පු වෙමින් තිබෙනවා.අප හඳුන්වා දුන් ගමන යන්න. මේ ගමනෙන් ඈත් වෙන්න එපා.එහෙම වුණොත් මේ ආර්ථිකය හසුරුවන්නට බැහැ.

හොරු අල්ලන බව මේ අය කියනවා.හොරු ඇල්ලීම සඳහා අප දුෂණ විරෝධී පනත ඉදිරිපත් කළා.මැතිවරණ වල වියදම් සීමා කරන පනත ගෙනාවා.දූෂණ විරෝධී කොමිසම නැවත ප්‍රතිසංවිධානය කරන්නට කටයුතු කළා.

මාලිමාව කියන සහන දෙන්නේ කොහොමද කියා තව ප්‍රශ්නයක් තිබෙනවා.උපයන විට ගෙවන බදු සීමාව ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දාහට ගේන්න අප කතා කළා. එතනින් පටන් ගන්න.ඉන් පසුව ලක්ෂ දෙකක සීමාවට යමු.”

 



Recommended Articles