එකලස් කරන ලද වාහන ගෙන්වූයේ දේශපාලන හිතවතුන් හරහායි


පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් මෙරටට ගෙන්වීමේ පූර්ණ බලතල ඇත්තේ තම සංගමයට වුවත්  පසුගිය කාලේ දේශපාලන බලය පාවිච්චි කරමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ අමතර කොටස් භාවිතා කරමින් එකලස් කළ වාහන පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලනඥයින් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් තම සංගමය කිසිදු වගකීමක් නොදරන බවත් පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූවේ පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන ආනයනකරුවන් හා පාරිභෝගිකයන් පත්ව ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා නුගේගොඩ ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා  මහතා මෙසේ ද  කීය.

මේ වන විට අපේ සංගමයේ සාමාජිකයින් 600 පමණ ඉන්නවා.ඒ හා සම්බන්ධ වූ ව්‍යාපාරිකයින් 3500- 4000 අතර පිරිසක් ඉන්නවා. ඔවුන්ට  සෘජුව සම්බන්ධ තවත් ව්‍යාපාරිකයින් 10.000 පමණ ඉන්නවා. මේ හරහා යැපෙන පිරිස ලක්ෂ හතරකට වැඩියි.

නමුත් වසර හයක පමණ සිට මෙරටට වාහන ගෙන ඒම තහනම් කරලා තියෙන්නේ. ඒ රටේ පැවති ආර්ථික අවපාතය නිසා,  ඒ නිසාම වාහනයක් පාවිච්චි කිරීමම බොහොම දුෂ්කරයි.  ඒ නිසාම තියෙනවා වාහනය අලුත්වැඩියා කරගෙන පාවිච්චි කිරීමට තමයි වැඩි පිරිසක් අවධානය යොමු කළේ. ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් වගකීමකින් යුක්තව දැරිය හැකි මිලකට මෙරටට අයනයනය කරල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන ගියේ අපේ සංගමයේ සාමාජිකයින්.

නමුත් කියන්න කණගාටුයි නීති විරෝධී වාහන භාවිතා කිරීම හා ඒවා එකලස් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සමාජයෙ ගොඩනැගිලා තියෙනවා. ඒ හරහා අපේ සංගමයේ ආනයනයකරුවන්ට දැඩි කළු පැල්ලමක් එල්ල වෙලා.

ඒ නිසාම අපි මේ සම්බන්ධයෙන් සොයා බලද්දි අපිට අනාවරණය කරගන්න හැකි වුණා මේ වාහන  පාවිච්චි කරලා තියෙන්නේ දේශපාලඥයින් හා ඔවුන්ට ගැතිකම් කරපු පිරිසක් කියන එක. ඔවුන් නීති විරෝධීව හොර පාරේන් මෙම අමතර කොටස් මෙරටට ගෙන්වීම හා ඒවා එකලස් කිරීමෙන් තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.

එහෙම නැතුව අප සංගමය හරහා මෙරටට ආනයනය කරපු අමතර කොටස් කිසිවක් මෙම එකලස් කිරීම් සදහා භාවිතා කර නොමැති බවට වගකීමෙන් යුක්තව කියනවා.

අද බලන්න මේ රටේ වැඩි පිරිසක් පොඩි වාහන පාවිච්චි කරන්නේ දුප්පත් මිනිස්සු.නමුත් ඔවුන්ගෙ වාහනේ අලුත්වැඩියාවක් උනහම අමතර කොටස් ගෙන්වන්න රජයෙන් අවසර දෙන්නේ නෑ.ගෙනාපු අමතර කොටස් ගනත්  ලක්ෂ ගණනින් මුදල් වැය වෙනවා.මේවා වැරදි ප්‍රතිපත්ති.ඒවා නිවැරදි කරන්න කලින් හිටපු පාලකයන්ව අපි දැනුවත් කලා.නමුත් පිලියමක් ලැබුනෙ නෑ. නව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟත් සාකච්ඡා කළා.සුභවාදී බලාපොරොත්තුවක් තියෙනවා යල් පැනගිය  නීති රීති වෙනුවට නව නීති ගෙනල්ලා මේ කර්මාන්තය ගොඩගන්න උදව් කරයි කියලා.

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති එෆ්.ආර්.ලින්සේ වයිට් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

අපේ සංගමය 1996 පටන් ගත්තු සංගමයක්. රටට ආයෝජකයින් බිහිකිරීම, විදේශ විනිමය මෙරටට ගෙන ඒම, සහනදායී මිලකට පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම , ඇතුළු කරුණු කිහිපයක් තමයි අපේ මූලික අරමුණු.

රටක් හැටියට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න නම් විදේශ සංචිතවල ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ.එහෙම නැතිවුනු නිසා තමයි පහුගිය කාලේ රට බං කළොත් උනේ, ඒකට අල්ලස දූෂණය වංචාව, නීති විරෝධී අයථා සිදුවීම් බලපෑවා. නමුත් ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. රජයක් ලෙස අපිට සහන දෙනවානම් යළි පිබිදෙන රටට විදේශ විනිමය උපයා දෙන්න අපේ සංගමයට පුළුවන්. හැබැයි ලොකු පුටු මාරු උනාට පරණ පුටුවල ඉන්න සමහරෙක් කරන හොල්මන් නිසා රට ආර්ථික වශයෙන් ස්ථාවර කරන්න හැකිවේවිද කියලා අපිට සැකයක් තියෙනවා.

මේවා ගැන අපි මුදල් අමාත්‍යාංශයේ බලධාරී සමග පසුගිය දිනයක සාකච්ඡා කළා. එහිදී යම් සුබදායී තැනකට ප්‍රවේශය වුණා. කතාවට පමණක් සීමා නොකොට නව වෙනසකට මුල පුරන්නයි. බලධාරීන්ගෙන් ඉල්ලනවා.ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.ඒ සහය අපි එදත් දුන්නා අදත් දෙනවා හෙටත් දෙනවා. ඔබට මතක ඇති කොරෝනා වසංගත සමයෙ වාහන අලුත්වැඩියාවකට අමතර කොටසක් සොයාගන්න බැරිවෙනවා අපි නොහිටියනම්. දුරදිග බලලා අපේ සංචිත අපි පවත්වාගෙන ගියා.නමුත් ඒවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තහංචි දැම්මා.

නමුත් විවිධ දේශපාලන සම්බන්ධතා උඩ ආනයනකරුවන්ගේ සංගමය නොවන පිරිසක් එංගලන්තයෙන් එකලස් කරපු හා නොකරපු අමතර කොටස් නීති විරෝධුව මෙහෙට ගෙන්නුවා. ඒ හරහා රටට අහිමිවූ බදු ගණන කෝටි ප්‍රකෝටි ගණනක්..නමුත් මේ අයථා ආනයන  ලේබලය අපිට ගහන්න සමහරෙක් උත්සහ කලා.

මේ අයථා ක්‍රම  වළක්වන්න අපිව සම්බන්ධ කරගෙන නව වැඩපිළිවෙළක් හදන්න කියලා කියලා අලුත් රජයට දන්වනවා. ඊට අවශ්‍ය යෝජනා අදහස් අපි ලග තියෙනවා.එහෙම නැතුව පැරණි විදිහටම ව්‍යාපාරිකයෝ අමතක කරලා ඊට පිළියම් යොදන්න ගියොත් රටට අබසරණයි.

ඔබට මතකයිනේ එදා රටවිරුවෝ බිල්ලට තියලා  ඩොලර් 30000 දාලා ගෙනාවේ පොඩි වාහන ද ලොකු වාහනද කියලා.එක පොඩි වාහනයක් ගෙනාවේ නෑ.සේරම ගෙනාවේ බොක්ස් වැගන්, බී.ඇම්.ඩබ්ලිව් ඇතුළු සුඛෝපභෝගී වාහන. මේවා ගෙනාවේ වාහන සේල් කරන ආයතනවලින්. මේවා වෙනස් වෙන්න ඕනි.නැත්තං අපේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙනවා.

හැම නිතරම අපේ සාමාජිකයින් දැනුවත් කරලා තියෙන්නේ නීති විරෝධී කිසි වැඩක් කරන්න එපා කියලා.බලධාරීන්ටත් දන්වලා තියෙන්නේ නීති විරෝධි එක කෑල්ලක්  හරි තිබිලා අහුවුනොත් අපිව බ්ලැක් ලිස්ට් කරන්න කියලා. ඒත් බලන්නකෝ නීති විරෝධී එකලස් කරපු වාහනත් එක්ක අල්ලන ඇමතිවරු දවස් දෙකෙන් තුනෙන් එළියේ.අපි නං කියන්නේ ඔවුන්ට අවුරුදු තුනක්වත් හිරේ ඉන්නවෙන විදියෙ නීති ගේන්න ඕන කියලා. මේවා නිවැරදි කරන්න මැදිහත් නොවන ඕනම කෙනෙක් ඩීල් කාරයො හැටියට තමයි අපි සලකන්නේ.

එදා චන්ද්‍රිකා රජය කාලේ අපිට අමතර කොටස් ගේන්න HS කෝඩ් එකක් තිබුණේ නෑ. ඒක හෙටපු මුදල් ඇමති පී. බී ජයසුන්දර මහතාගේ කාලෙ තමයි දැම්මේ  ඒ හරහා අපේ ලොකු පීඩනයකට ලක් වුණා.ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කළා .අපිට කිසිම සහනයක් ලැබුණේ නෑ.පස්සේ තමයි දැනගත්තේ ඒවට පිළියම් යෙදුවා නම් දේශපාලකයින්ගේ හෙංචයියලට හොරකම් කරන්න ලැබෙන්නෙ නෑ කියලා.

මේ නිසා තමයි ඉතා සුළු මුදලකට මෙරටට ගේන අමතර කොටස් 100/300 මිල වැඩිවෙලා තියෙන්නේ. ඇයි යන යන තැන බදු.ඒව පියවගන්න ඕන නිසා අන්තිමේදී පාරිභෝගිකයාගේ කර මතට තමයි පටවන්නෙ. මේ වංචා දූෂණ නැති කරන්න නම් ඩිජිටල් කරණය හරහා අපේ ව්‍යාපාර නව මාවතකට යොමු කරන්න කියලා නව රජයෙන් අපි ඉල්ලා සිටිනවා.



Recommended Articles