උපයන විට ගෙවන බද්දේ සීමාව රු. 100000සිට රු. 150000ක් දක්වා ඉහළට


උපයන විට ගෙවන බද්දේ අවම සීමාව වූ රුපියල් 100000 සිට රුපියල් 150000ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවලදී එකඟ වූ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එසේම සියයට 6% බද්දකට යටත් වූ පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රු. 500000 සිට රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධන ලබාඟත් බවත් ජනපතිවරයා පැවැසීය.

ලක්ෂ එක හමාරක් දක්වා මාසික වැටුපක් ලබන අයගේ වැටුප බද්දෙන් නිදහස් බවත් රුපියල් ලක්ෂ 2ක මාසික ආදායමක් ලබන අයගේ බද්ද සියයට 71කින් නිදහස් බවත් ජනපතිවරයා සඳහන් කළේය.

රුපියල් ලක්ෂ දෙක හමාරක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද සියයට 61කින් නිදහස්, ලක්ෂ තුනක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද සියයට 47කින් නිදහස්, ලක්ෂ තුන හමාරක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද සියයට 25.5කින් නිදහස් බවත් ජනපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් දේශීය යෝගට් හා නැවුම් කිරි නිෂ්පාදන වෙනුවෙන් පනවා ඇති එකතු කළ අගය මත බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

ලබන වසරේදී සිට අයකිරීමට නියමිතව තිබූ සේවා අපනයන වෙනුවෙන් අය කිරීමට නියමිතව තිබූ සියයට 30ක බද්ද සියයට 15ක් දක්වා අඩු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණි බවද ජනපතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් රදවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීමට එකඟතාවයට  පැමිණි බවද ඔහු පැවැසීය.

 



Recommended Articles