ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය.
මෙම වාර්තාව 2024 වර්ෂයේ දෙවන සහ තෙවන කාර්තු සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 23වනදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.
ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ (CBA) 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා නිශ්චිත ආන්තිකයකින් පවත්වාගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය මහජනතාවට ද ලබා ගත හැකිය.
2023 ඔක්තෝම්බර් 03වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5% ලෙස දක්වා ඇති අතර මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ අවශ්‍යතාව මත උද්ධමන ඉලක්ක සඳහා වන ආන්තික ප්‍රතිශතාංක ± 2 ක් ලෙද දක්වා තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය, 2024 දෙවන සහ තුන්වන කාර්තු දෙකෙහි අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) නියම කර ඇති ආන්තිකයට වඩා පහළින් උද්ධමන ඉලක්කයෙන් බැහැර ව තිබුණි. එය පිළිවෙලින් 1.4% ක් සහ 0.8% ක් ලෙස වාර්තා වී ඇති බැවින් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ අවශ්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් විසින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලද අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විමසීම් ප්‍රශ්න සඳහාද පැහැදිලිකිරීම් සිදු කරන ලදි. මේ අනුව උද්ධමන ඉලක්කයෙන් බැහැර වීමට හේතුවන ප්‍රධාන සාධක සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළ අතර විදුලි ගාස්තුව, දේශීය ඉන්ධන මිල, අහාර මිල, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය, බැංකු පොලී අනුපාතය, මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පෙන්වා දෙන ලදි. තවද ශ්‍රී ලංකාව 5% උද්දමන ඉලක්ක නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර මුදල් ප්‍රතිපත්තිය වඩාත් අවධානය යොමු කොට නිවැරදි තුළනයක් සහිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ලදි.