ප්ලාස්ටික් බටයකින් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් 10.000/= ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය
ඊට අමතරව පැමිණිලිකාර පාර්ශ්වයකට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් සිදු නොකරන ලෙසත් සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය එලෙස තර්ජනය කළ බවට හෝ බලපෑම් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද අවවාද කළාය
සැකකාර උදයංග වීරතුංග නැමැත්තා සහ ලියනගේ දොන් චන්ද්‍රසිරි යන අයවලුන් තලපත් පිටිය කනත්ත පාරේ එකිනෙක ආසන්න නිවාස දෙකක පදිංචිව සිටින අතර පහර කෑ පුද්ගලයා විසින් බඳින ලද මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් මුල් කරගෙන ඉකුත් 9 වෙනි දින අඩි 12 ක පමණ දිගැති ප්ලාස්ටික් බටයක් ගෙන එයින් ඇන බරපතල තුවාල සිදු කර තිබිණි
පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම, සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි
සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විදුර පී මංචනායක මහතා ප්‍රමුඛ ,ජනක වැලි වත්ත , ප්‍රසාද් සේනාධීර හා හසිත තිලකරත්න යන නීතිඥමඩුල්ල පෙනී සිටියේය