උතුරේ පවරාගෙන තිබෙන ඉඩම් ජනතාවට දෙනවා


විවිධ ආරක්ෂක හේතූ මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් යළි ඔවුන් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුන් නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් බව ඊයේ(10දා) වව්නියාවේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය සැප්තැම්බර් මාසයේ 21 වැනිදා අපේ රටේ දේශපාලනයේ තියුණු තරගයක් මතුවෙලා තිබුණා. ඒ ජනාධිපති ඡන්දයේදී හිටපු ජනාධිපතිතුමා වව්නියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දේදි විපක්ෂනායකතුමත් මේ වව්නියාවට ආවා. දැන් මේ ඡන්දෙට එනවාද? නෑ. ඇයි ඒ ? ඒ අය ඒ අයව දිනවන්න විතරයි ඡන්දේ කරන්නේ.

පසුගිය ජනාධිපති ඡන්දේදී වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව 21,000ක් අපිට ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න ඒක විශාල පිටිවහල් වුනා. ඒත් එදා අපි වන්නි දිස්ත්‍රික්කය පරාදයි. 

අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා. විවිධ කුල බෙදීම් තියෙනවා. අපේ රටට ඉදිරියට යන්න බෑ මේ විදියට බෙදිලා.  අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම්  අවසන් කිරීමයි. කතා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව, තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාවගේ බෙදුණු යුගය අපි අවසන් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර ලෙස දේශපාලන මතවාදයක් ලෙස , දේශපාලන ව්‍යාපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ. 

උතුරේ ජනතාවට හිමි ඉඩම් විවිධ ආරක්ෂක හේතූන් මත පවරාගෙන තිබෙනවා.එම ඉඩම් යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ විරෝධයක් එයිද? නෑ ඔවුන් අපිව විශ්වාස කරනවා. එහෙමයි මේ රට ගොඩනැගෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා යුද්ධයක් තිබුණා, විශාල විනාශයක් සිදු වුණා. ඒත් දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීම සඳහා පියවර ගන්න ලෑස්තියි.

දකුණ විරුද්ධ වෙයිද? නෑ. සමගි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි ? බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන්වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට වෙන වෙනම ප්‍රශ්න දිහා බලන්නේ. දැන් අපි එකතුවෙලා ඉන්නේ. ”



Recommended Articles