උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා


පැවැත්වීමට නියමිත උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර මේ වන විට පිටවී ඇති බව  අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමය පවසයි.

අද (2දා) සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසුව  තුන්වන වාර විභාගය පැවැත්වීමට නියමිත තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ මහතා මාධ්‍ය වෙත සදහන් කලේය.

මේ වන විටත් හයවන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ඇතුළු ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර  වට්ස්ඇප් (whatsapp) සමූහ  තුල හුවමාරු වන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

වාර විභාග සම්බන්ධයෙන් උතුරු මැද පළාත තුළ ඉතා ශෝචනීය තත්ත්වයක් ක්‍රියාත්මක වන බව සඳහන් කරන ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ මහතා දිගින් දිගටම  උතුරු මැද පළාතේ විභාග සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙන බවද කීය.

විභාගයක තිබෙන රහස්‍යභාවය ,විභාගයක තිබෙන ගුණාත්මකභාවය,පළාත් සභාව දරා ඇති අධික වියදම ආදිය මේ අයථා ක්‍රියා තුළින් පළාත තුළ දැඩි ලෙස පිරිහී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පසුගිය කාලය තුළ බලධාරීන්ට පැහැදිලිවම පෙන්වා දුන් කරුණක් වූයේ පසුගිය වසරවල වෙනත් පළාත්වල ප්‍රශ්න පත්‍ර මේ පළාතට ගෙන පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මුද්‍රණය කර ලබා දීම වැනි බරපතල සිද්ධීන් සිදුවූ බවද අසේල  විජේසිංහ මහතා අවධාරණය කළේය. එහෙත් බලධාරීන් ඒ පිළිබඳව තැකීමක් නොකළ අතර එහි ඵලය විදිහට දිගින් දිගටම විභාග සම්බන්ධයෙන් පළාත තුල තිබෙන තත්ත්වය ඛේදනීය වූ බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ බරපතල අර්බුදයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සම්පූර්ණයෙන් වගකිය යුතු බවත් වහාම මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසඳුමක් ලබා දිය යුතු බවට සහ වහාම පරීක්ෂණයක් කළ යුතු බවට විජේසිංහ මහතා සඳහන් කළේය.



Recommended Articles