උතුරු මැද 11 වසර සිංහල ප්‍රශ්න පත්‍රය පිටවෙලා


උතුරු මැද පළාතේ 11ශ්‍රේණියේ සිසු සිසුවියන්ට අද (6දා) පැවැත්වීමට නියමිතව තිබූ සිංහල විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යවල හුවමාරු වීම හේතුවෙන් තුන්වැනි වාර පරීක්ෂණයේ සිංහල විෂය පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව වාර්තාවේ.

එම විෂය නැවත පැවැත්වීම ලබන 20 දින සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, සිරිමෙවන් ධර්මසේන මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම පාසල් වෙත යොමු කර තිබෙන 11 ශ්‍රේණියට අදාළ සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද පෙරවරු නවයට පෙර නැවත අධ්‍යාපන කොට්ඨාස කාර්යාල වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

මේ ප්‍රශ්න පත්‍රය ඊයේ (5දා) 'වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු වූ අතර ඉන් අනතුරුව පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙත විවිධ පාර්ශ්ව කළ පැමිණිලි අනුව කරුණු සොයා බලා ඒ තත්ත්වය මත වාර විභාගය පැවැත්වීම අවලංගු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා දන්වා සිටියි.

 

කොට්ඨාස කාර්යාල වෙත ප්‍රශ්න පත්‍ර කට්ටල භාර ගැනීමේදී එම කට්ටල විවෘත කළ විදුහල සොයා ගැනීමට හැකි වන එක් අවස්ථාවක් ලැබේ.එමෙන්ම ප්‍රශ්න පත්‍රය පිටවූයේ කෙලෙසද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමටද තීරණය කර ඇත.

 



Recommended Articles