ඊශ්‍රායෙල් රැකියාවට ගිය ඇතැම් ලාංකිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා


ඊශ්‍රායලයේ මත්ද්‍රව්‍ය වෙළඳාම නීතිගත කර ඇති හෙයින් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ වැඩි ඉඩක් පවතින බවත්, එරට වෙසෙන ඇතැම් ශ්‍රි ලාංකිකයින් අයිස්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්වයෙන් සිටන බවත්, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් ෆේස්බුක් හා වට්ස්ඇප් ඔස්සේ විවිධ සමූහ නිර්මාණය කරගනිමින් කල්ලි කණ්ඩායම් ඇති කරගෙන ඇති බවත්, එමගින් විවිධ පහසුකම් ඉල්ලා උද්ගෝෂණය හා වැඩවර්ජන සංවිධානය කරන බවත් පැවසීය. එවැනි ක්‍රියාමාර්ග නිසා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇති යහපත් ප්‍රතිරූපය විනාශ වන බවත් පැවසූ තානාපතිවරයා ශ්‍රි ලාංකිකයින්ට වැඩි රැකියා ලබාගැනීම හෝ රැකියා අවස්ථා අහිමි කරගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ශ්‍රමිකයින් සතුව බවත් ප්‍රකාශ කළේය. එසේම රැකියා ස්ථාන වෙනස් කිරීම නිසා වීසා අහිමිවීමේ අවධානමක් පවතින බව පෙන්වාදුන් නිමල් බණ්ඩාර මහතා එවැනි සිදුවීම් නිරන්තරයෙන් වාර්තාවීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගතවී ඇති බවද ප්‍රකාශ කළේය.

එබැවින් ඊශ්‍රායල් රැකියා සඳහා පැමිණෙන සියළු ශ්‍රි ලාංකිකයින්, තම රැකියාව නීතිගරුකව සිදුකරමින් දෙරටේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවද පෙන්වා දුන්නේය. ශ්‍රි ලාංකිකයින්ගේ ගැටළු පිළිබඳව තානාපති කාර්යාලය මගින් නිරන්තරව සොයාබලන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 217 දෙනෙකු උදෙසා ඊයේ දින (2025.03.06) පැවති අවසන් රැස්වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමින් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. රැකියා හිමිවූ මෙම පිරිස මාර්තු මස 10 හා මාර්තු මස 25 යන කාලය තුළදි මෙරට ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, ශ්‍රි ලාංකිකයින් 6096 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා අවස්ථා හිමිවී ඇති අතර, 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ලාංකිකයින් 1018 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 



Recommended Articles