ඉරාන ජාතිකයන් 7කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (28) නියම කළේය.

වසර 05 කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිලිගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.

2019 ජුලි 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු මට්ටක්කුලිය මුහුදු තීරයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

විත්තිකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරන්ට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු මට්ටක්කුලිය මුහුදු තීරයේදී සැකකරුවන් පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්දව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් පසුව විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය විය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර ඉරාන ජාතිකයන් 07 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවෝ විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

 



Recommended Articles