ඉමාම් වාර්තාවේ කරුණු පිළිගන්නේ නෑ


පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ඉමාම් වාර්තාවේ අඩංගු කරුණු පිළිනොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය. 

චැනල් 4 නාලිකාවේ විකාශය කළ වීඩියෝව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කරන ලද හෙළිදරව්ව කාගේ අරමුණක් ඉටු කිරීම වෙනුවෙන් කරන ලද්දක් ද යන වග පැහැදිලි බවත්,  ශානි අබේසේකර මහතා හා රවී සෙනවිරත්න මහතා ඉලක්ක කර ගනිමින් මෙම හෙළිදරව් කිරීම් සිදුකරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

 චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

පරීක්ෂණයක් සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බවත්, වත්මන් ආණ්ඩුව සාධාරණ පරීක්ෂණයක් පවත්වමින් පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම ආරම්භ කර ඇති බවත්, වත්මන් රජයට කිසිවෙකුත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය.

ගම්මන්පිල මහතා විසින් පළමුව ඉදිරිපත් කළ වාර්තාව රජය පිළිනොගන්නා බව පැවසූ බවත් මෙම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙක් යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, 

"ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ,  රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ... අපි බලමු. ඔබ පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි.

රජයක් විදියට අපි මේ පිළිබ ඳ පුළුල් විමර්ශනයක් කරනවා ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි...කොතැනද වැරදි... කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ... කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ. මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව කියනවා. ඒ නිසා චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කරපු කරුණු" යනුවෙන් පැවසීය. 



Recommended Articles