ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගනනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , 12/26 දින ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අහමඩ් සරීම් මොහොමඩ් සියාබ් , ඔහුගේ බිරිඳ 43 හැවිරිදි පාතිමා පර්සානා මර්කාබ් සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාව වෙත පළා ගොස් තිබුණි.
ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර තිබූ අතර , ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08 ක් පනවා තිබුණි.
මෙහි පිරිමි පුද්ගලයා සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා 12/26 දින දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසුව ඔහුගේ බිරිඳ 12/26 දින රාත්‍රී ඉන්දියාවේ සිට තවත් ඉන්දීය ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
පසුව ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත 12/27 දින අලුයම භාර දීමට පියවර ගෙන තිබුණි.