ඉතිරි අවුරුදු දෙක ඉන්නවා - නැවත මැතිවරණයකට එන්නේ නෑ


තමාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් මාස ගණනාවක් පුරා විරෝධතා පැවැතියත් තමන්ගේ ඉතිරි ධුර කාලය වන අවුරුදු දෙක සම්පූර්ණ කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන බවත් එය නිවැරදි කිරිම වෙනුවෙන් කටයුතු කරන බවයි.

"මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ" යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි.

 “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ." යැයි ඔහු පවසයි.

එක්කෝ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් එසේත් නැතිනම් පාර්ලිමේන්තුව පාලනයෙන් ඉවත් කළ යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම හෝ විධායක ජනපතිධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම වැනි දෙකෙන් එකක් සිදුවිය යුතු බවයි.

"මිශ්‍ර පද්ධතියක් තිබෙන්න බෑ. මම මෙය අත්වින්දා. මම මේක කිව්වම මිනිස්සු මට දොස් කියන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත."
විධායක ජනපතිධුරය පවතින්නේ නම් පූර්ණ බලැති විධායකයක් අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් සම්පූර්ණ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායට යා යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles