දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.
වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස් වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.
පාර්ලිමේන්තුවේදී ඊයේ ( 31 ) විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වීම සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් ලිඛිතව හෝ මේ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස සඳහන් කළේය.
එසේම මෙහිදී ගෑස් පුපුරා යෑමට අදාළව පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සිදුවිය.
ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැනද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කමද, ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂාකොට වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳවද, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලු කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳවද යම් යම් එකඟතාවයන්ට පැමිණීම මෙහිදී සිදු විය.
.