ආහාර විසවීමකින් ඇඟලුම් කම්හලක 500ක් රෝහලට


පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් 19 වෙනිද පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවද බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 18 වෙනිදා සවස් වන විට මෙම රෝගී තත්ත්වය කිහිප දෙනෙකුට හටගෙන ඇතිතර 19 වෙනිදා සේවය සඳහා ඇඟලුම් කර්මාන්තයට පැමිණෙමින් අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔවුන් රෝහල් ගත කර ඇති අතර ඇගලුම් කර්මාන්තයේ සේවක, සේවිකාවන් 700 ක් පමණ සේවය කරන බවද දැනගන්නට ලැබිණි.
   
එම ඇඟලුම් කර්මාන්තයේ සේවය නියුතු පිරිසක් 18 වෙනිදා පැවැති උපන් දින සාදයකඩදි ලබාගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් මෙම බඩේ අජීරණය සහ බඩේ කැක්කුම ඇති වී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බව බකමුණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මනම්පිටිය නිමල් ජයරත්න



Recommended Articles