ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහි මහින්දගේ පෙත්සම සලකා බලයි


නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

දශක තුනක කාලයක් රට වෙළාගෙන තිබු යුද්ධය නිමා කිරීමට නායකත්වය දීම හේතූවෙන් නිරන්තරයෙන්ම ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගේ ආරක්‍ෂාව ස`ඳහා යොදවා සිටි ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය හේතූවෙන් තම ජීවිත ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් වී ඇතැයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම එදින කැඳවන ලෙසද වැඩිදුරටත් නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ අනුරාධ සෙනරත් මහතා මඟින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති මහින්ද රාජපක්ෂ මහතා දශක තුනක කාලයක් මෙරට වෙළාගෙන සිටි යුද්ධයක නිමා කිරීමට නායකත්වය දුන්නේ තමා බව සඳහන් කර ඇත.

යුද්ධයක් නිම කිරීමට නායකත්වය දීම හේතූවෙන් තමා නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණපා සිටීම නිසා තම ආරක්‍ෂාවට යුදහමුදා අණදෙන නිලධාරීන් තිදෙනෙක්ද, ඒකක යුදහමුදා අණදෙන නිලධාරීන් සිව්දෙනෙකු ඇතුලත්ව සෙසු නිලයන් 58 දෙනෙකු යොදවා සිටි බවත් ඊට අමතරව පොලිස නිලධාරීන් 56 දෙනෙකු සහ පොලිස් රියදුරුන් 29 දෙනෙකු ලබාදී සිටි බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට නිසි තක්සේරුවකින් තොරව ඉතිරි සිය`ථ ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඇතැයිද සඳහන් කර ඇත.

මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් ආරක්ෂාව සඳහා සපයා ඇත්තේ පොලිස් නිලධාරින් පමණක් බවත් අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් තම ජීවිතයටද තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා එලෙස ආරක්‍ෂාව ඉවතත් කිරීමෙන් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටී.

තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳ තක්සේරුවක් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඇයැද සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට තමාගෙන් ඉවත් කර ඇති සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි තමාට සැපයීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම කැදවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි  අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගැනීමට මෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය හෙයින් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව වුවත් වගඋත්තරකරුවන් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කර ඇතැයි පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා වගඋත්තරකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමට අවසර දුන් අතර අවශ්‍ය නම් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට හැකියාව ඇතැයිද දැනුම් දුන්නේය.

සචිත්‍ර ගුණසේකර

 



Recommended Articles