වර්තමානයේ බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙන බවත්, ඒ සියලු භාණ්ඩ ආණ්ඩුව ආනයනය කරනුයේ පාරිභෝගික ජනතාව ගැන සිතා නොව ඉන් ලැබෙන බදු අදායම ඉලක්ක කරගෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව ආණ්ඩුවට එරෙහි ජනතාවගේ විරෝධය සමූපකාර ඡන්දයෙන් පෙන්නුම් කරමින් තිබෙන බව ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ අද බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙනවා. පොල් හිඟයක් තියෙනවා. සහල් හිඟයක් තියෙනවා. ලුණු හිඟයක් තියෙනවා. ඒ හැම දේටම උත්තර ආනයනය කිරීම. ඒ ආනයනය කරන්නේ පාරිභෝගික ජනතාවට ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ අඩු මිලකට ලබා දෙන්න නොවෙයි.
බදු ආදායම ඉලක්ක කරගෙන තමයි ඒ සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්නේ.මැතිවරණ කාලයේ කිව්වා විදුලි බිල අඩු කරනවා කියලා තුනෙන් එකකින්. රු.3000 බිල රු.2000 කරනවා කිව්වා. රු.9000 බිල රු.6000 කරනවා කිව්වා. විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභ ලබන මොහොතක එහි ඇමතිවරයා කියනවා තුනෙන් එකකින් විදුලි බිල අඩු කරන්න බෑ.
යෝජනා ඇවිල්ලා තියෙන්නේ විදුලි බිල 38%කින් වැඩි කරන්නලු. ඊට පස්සේ මොකක්ද වුණේ? මහජන උපයෝගිතා කොමිසම හරහා රටේම ජනතාව මහජන අරගලයක් කළා. ප්‍රශ්න කළා. චෝදනා කළා. අභියෝග කළා. කරුණු ඉදිරිපත් කළා. මේ තරම් අධික ලාභයක් ලබලත් ඒකේ වාසිය පාරිභෝගික ජනතාවට නොදී ඉන්න බෑ කියන තර්කය මත , පීඩනය මත මහජන උපයෝගිතා කොමිසම විදුලිබිල 20%න් අඩු කළා.
ඒ අඩු කිරීම කරනකොට ඊළඟ දවසේම විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරනවා එහෙම අඩු කරන්න බෑ, මේවා මුදල් අමාත්‍යාංශයෙන් අහල කරන්න ඕනෑ කියලා. අද රටේ පොදු ජනතාවගේ හඬ , පොදු ජනතාවගේ මතය සමූපකාර ඡන්ද ප්‍රතිඵලවලින් හොඳින් පැහැදිලි වෙනවා. ජනතාවගේ විරෝධය මත අනිවාර්යෙන්ම එය රජයට බලකිරීමක් වෙනවා ජනතා හිතෛෂී පියවර ක්‍රියාත්මක කරන්නට. ”