ආගමික උත්සව වලට ගොස් රන්මාල කොල්ල කන කාන්තා කල්ලියක සාමාජිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට


දිවයිනේ විවිධ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වලට ගොස්, කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑමේ නිරත  සංවිධානාත්මක කාන්තා අපරාධ කල්ලියක සාමාජිකාවන්  දෙදෙනෙකු ඊයේ(27දා) හෙරොයින් මත්කුඩු සහ රන් මාලයක් සමග  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

පිච්ච මල් පූජාව පැවති ඊයේ 27 වන දා, අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිම ආසන්නයට පැමිණ ඇති මෙම කොල්ල  කල්ලියේ සාමාජිකාවන් කිප දෙනෙකු සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රන්මාලය සහ හෙරොයින් හමුවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 43 සහ 27 හැවිරිදි ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සන්තකයේ තිබී කොල්ල කන ලද රන්මාලයක් හෙරොයින් මිලිග්‍රෑම් 3000ක් සහ මිලිග්‍රෑම් 2600ක් තිබී හමුවූ  බවත් එම රන්මාලය මීට දින තුනකට පෙර බස් රථයකදී කොල්ල කෑ රන්මාලයක් බව එක් සැකකාරියකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමටදී අනාවරණය වූ බව  පොලිසිය කියයි.

සුදු වතින් සැරසී පූජා භූමි වල උත්සව පැවැත්වෙන අවස්ථාවලදී පැමිණෙන මෙම කොල්ල කල්ලි සාමාජිකාවන්  බැතිමතුන් වැඩි පිරිසක් සිටින ස්ථාන වලට ගොස්, එක පෙලට සිට රන්මාල කඩා ගෙන කලබලයක් ඇති නොවන පරිදි සොරබඩු අතින්,  අතට මාරු කර අවසානයට සිටින සොර කල්ලිය සාමාජිකාව   එය රැගෙන අදාල  ස්ථානයෙන් පලා යන බව පොලිසිය මෙහිදී අනාවරණය කර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අධිකරණයට  ඉදිරිපත් කිරීමට  නියමිතව සිටියහ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරීක්ෂක ආර්. එම්. ජයවීර   අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවර්ධන උප  පොලිස් පරීක්ෂක අනුර රත්නායක , උප පොලිස් පරීක්ෂිකා සජීවනී , පො.කො.දයාපාල (48344) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කලහ. 

අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග  



Recommended Articles