අසීමිත බලය සමග ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ගත යුතුයි


මහ මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලැබී ඇති අසීමිත බලයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

කොළඹ අද (17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් ඡන්ද දායකයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහ මැතිවරණය පැවැත්විමට කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාව , අදාළ නිලධාරීන් හි ආරක්ෂක අංශ වලට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට මුද්‍රිත මාධ්‍ය , විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විශාල කාර්යයක් ඉටු කළා. ඒ වගේම මෙවර මැතිවරණයේදී  ලක්ෂ 20 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් සමගි ජන බලවේගයට ලැබිලා තිබෙනවා. ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තබපු ඒ විශ්වාසයට අපි ස්තුතිවන්ත වෙනවා. 

කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයට පත්වන්නට හැකියාව ලැබිලා තිබෙනවා.  ඒ අනුව රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරන්න විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට අවස්ථාව උදා වෙලා තිබෙනවා.ජනාධිපතිවරයා සිටින , තුනෙන් දෙකක බලයක් තිබෙන පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය , ආරක්ෂා කර ගනිමින් ඒ කාර්යය ඉටු කරන්න  අපි කටයුතු කරනවා. 

ඒ වගේම අසිමිත බලයක් සහිත ආන්ඩුවක් රටේ මේ වනවිට නිර්මාණය වෙලා තිබෙනවා.  මන්ත්‍රීධුර 159ක්. ඉතිහාසයේ සමහර අවස්ථාවල අසිමිත බලයත් එක්ක  රටේ වංචාව , දුෂණය රජකරවන යුගයන් තිබුණා. ඒ අසිමිත බලය සමග පාලකයන් ඒකාධිපති තීන්දු ලබාගත්තා.  අසීමිත බලය සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. රටේ ජනතාවගේ අයිතින් ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි.  කෙසේ නමුත් විපක්ෂයේ කාර්යය හොඳින් ඉටු කරන්න සමගි ජන බලවේගය සුදානම්. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ ජයග්‍රාහී ගමන ආරම්භ කරන්න අපි කටයුතු කරනවා.”



Recommended Articles