අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ගැන සොයන්න කමිටුවක්


අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක්  පත් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.

අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු වුවත් ඒ අවස්ථාව අහිමි වූ සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් සැකසීම, අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවීමට බලපා ඇති හේතු අධ්‍යයනය කොට වාර්තා කිරීම සහ සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා තෝරා ගැනීමේ ක්‍රම වේදයට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කරන නිර්ණායක වාර්තා කිරීම අදාළ කමිටුවට පැවරී තිබේ.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර එහි වාර්තාව දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් කමිටුව වෙත උපදෙස් ලබා දී ඇත.සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ එහෙත් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු විශාල කණ්ඩායමක් මේ වන විටත් දිවයින පුරා සිටින බව ලැබී ඇති තොරතුරු සහ ඉල්ලීම් සලකා බලා අදාළ කමිටුව පත් කර ඇත.

 



Recommended Articles