අවුරුදු 104ක පුද්ගලයෙකු ඇස්වලට සාර්ථක කාච දැමීමේ සැත්කමක්


වයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම සිදුකළ විශේඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ, මෙය ඇය විසින් සිදුකරන ලද වයස්ගතම පුද්ගල ශල්‍යකර්මය බවයි.

මෙම සුවිශේෂී සැත්කම සිදුකර ඇත්තේ පුංචිඅප්පු විතාන නැමැති පුද්ගලයෙකුටය. හෙතෙම වර්ථමානයේගාල්ලේ හපුගල සිය දියණිය‍කගේ නිවසේවාසය කරයි. විතාන මහතාගේ උපන්ගමමාතර කොටවිල ප්‍රදේශයයි. ඔහු දරුවන් 07 දෙනකුගෙන් යුතු පවුලක හයවැනි දරුවා ලෙස 1921 ජූලි මස 23 වැනි දා උපත ලබා ඇත. එල්.කේ.සුමනාවතී මහත්මිය සමඟ විවාහ වූ පසු  පිටබැද්දර, හත්තොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔවුන්ට දරුවන් 08 දෙනෙකි. සිය දරු මුණුපුරන් පිරිවරාගෙන ඉතාමත් සතුටින් කාලය ගත කරන ඔහු දැන් මීමුත්තා කෙනෙකි

තමා මුහුණ දුන් සැත්කම සම්බන්දව විතාන මහතා මෙසේ පවසයි,

“මම මේ මෑතක් වෙනකන්ම පොත්, පත්තර කියෙව්වා. දැන්ට අවුරුද්දක පමණ සිට මගේ ඇස් දෙකේම පෙනීම අඩු වුණා. ඉතින් මට පොත් කියවන්න අමාරුයි.ඩොක්ටර් කිව්වා ඇහැට කාච දැම්මොත් පෙනීම ගන්න පුළුවන් කියලා,කාච දැම්මාට පස්සේ වෙනදට වඩා හොඳට ඇස් පේනවා. දැන් මට නැවත පොත් කියවන්න පුළුවන්. ඒ නිසා මම හරිම සතුටින් ඉන්නේ.”  

සැක්කම සිදුකළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ ඔහුගේ සැත්කම ඉතාමත් සාර්ථක වූ බවයි.

“මේ තරම් වයස්ගත මහත්මයෙක් ඇස් කාච දාන්න ඕන කිව්වම මම ඇත්තටම පුදුම වුණා. මොහුගේ ඇස කාච දැමීමට සුදුසු තත්ත්වයේ තිබුණා. ඒ වගේම එතුමා ඉතාමත් නිරෝගීයි. ඒ අනුව එක් ඇසක කාච දැමීමේ සැත්කම කළා. දැන් ඒ ඇස ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. ඇස්වල වටිනාකම, දැනුමේ අවශ්‍යතාව දැනගෙන ඔහු ඉදිරිපත්වීම ඇත්තටම සතුටක්. අපේ ඇස් නිරෝගීව තබා ගැනීමට අප උනන්දු විය යුතු බවට විතාන මහත්මයා රටට ආදර්ශයක් දුන්නා.”

මේ ශ්‍රී ලංකාවේ ඇස් කාච දැමීමේ සැත්කමක් සිදුකළ වයස්ගත ම පුද්ගලයා විය යුතුය. මීට පෙර මෙතරම් වයස්ගත පුද්ගලයකුට කාච දැමීමේ සැත්කමක් කළ බවට ශ්‍රී ලංකාව තුළින් ලිඛිත සාක්ෂියක් හමු වී නැත.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට



Recommended Articles