අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ ජනවාරි මස 01වනදා සිට පෙබරවාරි මස 28වනදා දක්වා කරන ලද නඩු පැවරීම් ආශ්‍රිතව රජය විසින් රුපියල් හාරලක්ෂ විසිපන්දහසක ආදායමක් ලබා ගෙන ඇතැයි එම කොමිෂන් සභාවේ නිලධාරියෙකු අනාවරණය කළේය.
ඒ අනුව ජනවාරි 01වනදා සිට පෙබරවාරි 28වනදා දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකා මහාධිකරණයෙන් පනවන නඩුවලින් නියම කරන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් දෙලක්ෂ පහළොස්දහසකි.
නඩු පැවරීම්වලින් පසුව රාජසන්තක කරන ලද මුදල රුපියල් එක්ලක්ෂ පනස්දහසකි. මීට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම් තුළින් ලද දඩ මුදල් ආදායම විසිදහසක් වන අතර, මහාධිකරණයේ ලද දඩ මුදල රුපියල් හතළිස්දහසකි. අදාළ කාලසීමාවේදී අල්ලස් හා දූෂණ වැරදිවලට අදාළව මහාධිකරණයේ නඩු 21ක් පවරා තිබූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඊට සම්බන්ධ චූදිතයන් සංඛ්‍යාව 24දෙනෙකි. ඉන් නඩු පැවරීම් 17ක් අල්ලස් වැරදිවලට අදාළ වන අතර, දූෂණ වැරදිවලට අදාළ නඩු 3ක් සහ අයුතු වත්කම් ඉපැයීම්වලට එක් නඩුවක්ද පවරා ඇත. අදාළ කාලසීමාවේදී කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි සංඛ්‍යාව 847කි.
ඊට අදාළව මුළු වැටලීම් සංඛ්‍යාව 17ක් වන අතර, එම වැටලීම්වලින් 8දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයන් අතර විදුහල්පතිවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක්, කම්කරු නිලධාරීයෙක්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කේෂ්‍ත්‍ර නිලධාරියෙක්, සිවිල් පුද්ගලයෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරීවරයෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඊට අයත් බව එම කොමිෂන් සභාවේ නිලධාරීවරයා විසින් සඳහන් කළේය.
චන්දන සමරවික්‍රම