අරගලයේ ක්‍රියාකාරී ප්‍රියත්ට පහරදුන් කඩුවෙල හිටපු නි. නගරාධිපති අත්අඩංගුවට


අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඊයේ (10දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසීය පවසයි.

පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.

අදාල පහරදීම සිදු කරන ආකාරය පහරකෑමට ලක් වූ තැනැත්තා ජංගම දුරකතනය මගින් වීඩියෝ ගත කර ඇත.

ඒ අනුව පහරදීමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා අද (11දා) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  කඩුවෙල -  කේ. බුද්ධික කුමාරසිරි/ දිනේෂ් සමරකොන්



Recommended Articles