ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙහි සංශෝධන කිහිපයක් සිදු කර ඇති බවත්, ඉදිරි කාල සීමාවෙහිදී කළ හැකි ගැලපීම් සමාලෝචනය කර තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අද (21දා) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කර යම් සහනයක් ලබා දීමට කටයුතු කරන්නේද කියලා අහනවා. මේ අභියෝග වලට මුහුණ දීම සඳහා දැනට කරන ලද සංශෝධන සහ වැඩ කටයුතු තමයි පැහැදිලි කළේ. නමුත් ඉදිරි කාලසීමාවෙහිදීත් මේ සඳහා කළ හැකි ගැලපීම් , රිවීව්ස් සමාලෝචන කර සුදුසු වාතාවරණයක් යටතේ තවදුරටත් සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය ඇප කැප වී සිටිනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු - ඇත්තටම මේ ප්‍රශ්නය ඇහුවේ මේ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි දැනගන්න අවශ්‍ය නිසා. සිදු වුණු දේවල් අපි දැන් දන්නවා. ඒ සම්බන්ධයෙන් ජනතාව පිළිතුරු ලබා දීලා තියෙනවා. මම දෙවැනි ප්‍රශ්නයෙන් ඇහුවේ එම ගිවිසුමේ ඇති කොන්දේසි හේතුවෙන් ජනතාවට විශාල පීඩනයකට ලක්වී තිබෙන බව දන්නවාද කියලා. ඒකට ලබා දුන්න පිළිතුරෙන් දන්නවාද නැද්ද කියලාවත් මට නම් තේරෙන්නේ නෑ. එහෙම නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොතේ අංක 105 තියෙන සියල්ල බොරුනේ. ඒ අනුව පිළිගන්න වෙනවා නේද මේ රටට බොරු කිව්වා කියලා?
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - ඒ අවස්ථාවෙත් රජය කල්පනා කරලා ඇයි ඒ පාරට පිවිසුණේ කියලා බොහොම පැහැදිලි ලෙස කරුණු පැහැදිලි කළා පාර්ලිමේන්තුවට. මේ කඩා වට්ටලා තිබෙන ආර්ථිකය තුළ අතිශය දුක්විඳින ජනතාවට අවශ්‍ය කරන සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ඉදිරියට යන්න. ඔබ තමුන්නාන්සේලා කැමැත්තෙන් ඉන්නවා මේ පාර වට්ටන්න කකුලෙන් අදින්න වැඩ කරලා නැවත වතාවක් ඒ ජනතාව නැවත වතාවක් පීඩනයට පත් කරන්න. නමුත් ඒ වළේ වැටෙන්න අපි සූදානම් නෑ.අපේ බලාපොරොත්තුව ඉදිරිය ගැන අවධානය යොමු කරලා මේ රට වට්ටලා තියෙන තැනින් බොහොම සාර්ථකව ආර්ථික ස්ථායීකරණ මට්ටමකට ගෙන ඒමයි. අපි එයට මූලික කටයුතු සූදානම් කර තියෙනවා.