අඹු සැමි යුවළකගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි


මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුලම,  කුංචිකුලම ප්‍රදේශයේ  නිවසක තිබී බරපතළ කැපුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත්ව  සිටි  බිරිඳකගේ සහ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇගේ සැමියාගේ  මළ සිරුරු ඊයේ (7දා) සොයා ගත් බව බව මිහින්තලේ පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළවෙනි පටුමග , කුංචිකුලම , කුරුන්දන්කුලම , මිහින්තලේ  ලිපිනයේ පදිංචිව සිටි වෙද ගෙදර ගමරාළලාගේ සේනාරත්න නැමැති 61 හැවිරිදි සැමියා සහ  කුසුමා ප්‍රියංගනී නැමැති 56 හැවිරිදි බිරිදකි.

මෙම අඹුසැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ මෙම අඹු සැමි යුවල පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි. දෙදෙනා අතර ඇති වූ   පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන්  සැමියා විසින් සිය බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර, පසුව  එම සැමියාද සිය දිවි හානි කර ගන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.

හතදා උදෑසන 9.14 ට, පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව මිහින්තලේ පොලිසියේ අපරාධ අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රගිත් දිසානායක  මහතා  ඇතුළු නිලධාරීහු  කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී මෙම මළ සිරු හමුවූ බව පොලිසිය සදහන් කලේය.

තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව බර පතල කැපුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව සිටි එම කාන්තාවගේ මළ සිරුර නිවසේ ආලින්දයේ තිබී හමු වූ බවත් ගෙල වැලලා ගෙන  ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි පුද්ගලයාගේ මළ සිරුර නිවසේ මුළු තැන් ගෙය තුල තිබී සොයා ගත් බවද පොලිසිය කියයි.

මෙම දේහයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්  පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව, සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත යොමු කිරීමට නියෝග කෙරුණු  බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන්  මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි  මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක්  වැඩි දුර පරීක්ෂණ සිදු කරති. 



Recommended Articles