අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.
පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමට අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා හමුවේ පෙත්සම කැඳවීය.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.
මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවට පත්කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන අවස්ථාවේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරයි.
රාජ්‍ය සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියට පටහැනි යැයයි සඳහන් කරන පෙත්සම්කරු මේ වන විට ඇමතිවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සිටී.
ඒ බව තීන්දු කරමින් ක්-වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධූරය බලරහිත රිටි ආඥාවන් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී. පෙත්සම කැඳවවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් පසු පෙත්සම සලකා බැලීම සුදුසු බව සඳහන් කළේය.
සියලුම වගඋත්තරකරුවන්ට ලබන 27 වැනිදාට පෙර නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස නියම කළ අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 19 වැනිදා කැඳවන ලෙසද නියෝග කළේය.
සචිත්‍ර ගුණසේකර