මහරගම අපේක්ෂා රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබුණු රුපියල් කෝටි 40 ක අරමුදල් වසර 2 ක කාලයක් තුළ කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
2022 හා 2023 වර්ෂ සඳහා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් ද අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි. 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විවිධ ව්‍යාපෘති 4 කට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.
එසේම කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව මෙම විගණන වාර්තාව පෙන්වා දෙයි.
ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් 10 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් උපකරණ මිලදී ගැනීමටත් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද 2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි 8 ක් පමණක් බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.
කමල් ශ්‍රී ලියනගේ