අපේක්ෂා රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය මාස 2ක් තිස්සේ අක්‍රීයයි


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය මාස දෙකක පමණ සිට ක්‍රියා විරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකය, රසායනාගාරය,ශල්‍යාගාරය ඇතුළු අත්‍යවශ්‍ය ඒකක වල සේවයේ නිරත කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මෙම  දුෂ්කරතාවය මාස දෙකක පමණ සිට පවතින අතර ඒ හේතුවෙන්  බාහිරින් පැමිණෙන දුරකථන ඇමතුමක් යොමු කළ හැක්කේ කාර්යාලයට පමණක් බවත් වෙනත් කිසිදු ඒකකයකට එම ඇමතුම යොමු කළ නොහැකි බවත් පැවසේ .

එසේ අවශ්‍ය වන සෑම අවස්ථාවකදීම අභ්‍යන්තර සන්නිවේදන පහසුකම් සලසා ගන්නේ වෛද්‍යවරුන්ගේ හා හෙද හෙදියන්ගේ පෞද්ගලික ජංගම දුරකථන වලින් බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් පාලනාධිකාරියෙන් සිදු නොකරන බවත් පැවසේ.

වාට්ටුවල නේවාසිකව  ප්‍රතිකාර ලබන රෝගියෙකු රාත්‍රී කාලයේදී මිය ගියහොත් අවම වශයෙන් මෘත ශරීරාගාරය සම්බන්ධ කර ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් මේ නිසා උදාවී තිබේ.

එසේම වාට්ටුවක රෝගියකු ශල්‍යකර්ම සඳහා ශල්‍යාගාරයට රැගෙන ආ යුතු වේලාව විමසීමට , රසායනාගාර පහසුකම් ලබා ගැනීමට, මින් බලවත් බාධා එල්ල වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

ටෙලිකොම් ආයතනයෙන් මෙම පහසුකම සැලසීමට සූදානම් වුවද දේශපාලන බලවතෙකුට අයත් පෞද්ගලික ආයතනයකින්  ටෙන්ඩරය ඉල්ලා තිබීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග  පවසයි.

සංවේදී රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන මෙවන් රෝහලක කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමට අත්‍යවශ්‍ය වන මෙම අභ්‍යන්තර දුරකථන පද්ධතිය මාස දෙකක පමණ සිට මෙසේ අක්‍රිය වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කලත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් පැවසේ.

එබැවින් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපේක්ෂා රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය යථා තත්ත්වයට පත් කරන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ.

අක්‍රීය වුණු රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න ටෙලිකොම්  ආයතනයට දැනුම් දීලා තියෙන්නේ.

ඔවුන්ගේ පද්ධතියේ වෙනස්කම් කිහිපයක් නිසා එය නිවැරදි කරගන්නා තෙක් ප්‍රමාද වූ බවයි ඔවුන් අප සමග පැවසුවේ. එහෙත් හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත්කර ගැනීමට  සතිපතා සාකච්ඡා පවත්වනවා ඒ අනුව ඉතා ඉක්මනින් මෙය  යථා තත්ත්වයට පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි පැවසීය.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles