අපි වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරනවා


අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකරපු බාර් එක වහල දමන එක යැයි සමඟි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී අද (18) වෙනිදා පැවති ජන රැළිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

බුද්ධි අංශ වාර්තා අනුව අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.මගේ කකුලෙන් අදින දේශපාලන රනිල් අනුර ජෝඩුව හොඳටම පහළින් ඉන්නේ.උතුම් දළදා වහන්සේට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජාකරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භකළා.එසේ කරපු පළවෙනි පාලකයා සජිත් ප්‍රේමදාසයි.ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිපත්ති අපි දිවිහිමියෙන් සුරකිනවා.

අපගේ ජයග්‍රහණය ස්ථිරයි.එම ජයග්‍රහණය සාමයයෙන් භුක්ති විඳින්න ඕන.හිංසනය,ප්‍රචණ්ඩත්වය එපා. ඒවා සමඟි ජන බලවේගයේ ප්‍රතිපත්ති නෙවෙයි.රට ගොඩනඟන ඊළඟ පියවරටත් මුළු රටම සූදානම් වෙන්න.විරුද්ධ මත දරන කිසිම කෙනෙකුට හානි කරන්න එපා.ඒ අයවත් රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට එක්කාසු කරගන්නවා.අපි ආගමික නිදහස රකිනවා.

ඕනෑම ආගමක් අදහන්න මේ රටේ ජනතාවට අයිතිය තියෙනවා.ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය අපි සුරක්ෂා කරනවා.නිරාගමික රටවල් අපි නිර්මාණය කරන්නේ නැහැ.කුඩු,මත්ද්‍රව්‍ය,පාතාලය අපි බලයට ඇවිත් මාස හයෙන් සම්පූර්ණයෙන් අවසන් කරනවා.තදබල තීන්දු අරන් කුඩු මත්ද්‍රව්‍ය මාෆියාව අවසන් කරනවා. ඉවර කරනවා.

මාලිමාවට පොදු පෙරමුණට යූඑන්පීයට අනෙකුත් සියලුම පක්ෂ වල සාමාජිකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.මෙම අවසාන මොහොතේ ඔබගේ ඡන්දය නාස්ති කරන්න එපා.දුරකථනයට දෙන්න.අපි ජනාධිපතිවරණයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයකින් දිනනවා.අපි ලඟ හොරබොරු වංචා නෑ.

අපි ලඟ දේශපාලන ඩීල් නැහැ.අපි ලඟ කුමන්ත්‍රණ නැහැ.අපිට තියෙන ඩීල්එක මේ රටේ දුකටපත් ලක්ෂ 220 ජනතාව දුකින් මුදවාගෙන රට ගොඩනැගීමයි.අපිට තියෙන එකම ඩීල් එක ජනතාවගේ බදුබර අපි පහත හෙළීම.ආයෝජන වැඩිකරනවා.රටට පිළිකාවක්වූ දූෂණය,වංචාව,හොරකම අනිවාර්යෙන්ම පිටුදකිනවා.

මේ රට විනාශ කරපු හොරු ටික අපි නීතිය හමුවට ගෙන එනවා.සමඟි නීතීඥ සංගමයයි. සමඟ බුද්ධි මණ්ඩපයයි ඒ සඳහා කැප වෙනවා.අපි රට වටේ ෆයිල් පෙන්නපෙන්න බොරු සංදර්ශන කරන්නේ නැහැ.මේ රට බංකොලොත් කරපු රාජපක්ෂලා ප්‍රමුඛ කල්ලිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් රට විනාශකිරීමේ බංකොලොත් කිරීමේ වරදට හතරෙන් එකක විනිසුරුවරුන්ගේ තීන්දුවක් අනුව අපි ජයගත්තා යැයි මේ අවස්ථාවේදී කියනවා.හොරුත් අල්ලනවා හොරු හොරාකාපු සම්පත් ටික නැවත වරක් අපේ මාතෘභූමිය භූමියට ලබාගන්නවා.

කෘෂිකාර්මික ප්‍රජාවට කිලෝ පනහේ පොහොර මිටිය අපි රුපියල් පන්දහසට ලබාදෙනවා.වෙල්ලස්සේ පාරම්පරික ගොවිබිම් අහිමි වුණ අයට ඔබේ හොරාකාපු වගාබිම් ජනතාවට ලබාදෙනවා.දුගී දුප්පත්කම තුරන් කරන්නට අවුරුදු දෙකක වැඩසටහනක් ක්‍රියාත්මක කරලා.හැම දුප්පත් පවුලකටම මාස්පතා රුපියල් විසිදහසක් වටිනා මූල්‍ය ශක්තිය ලබාදෙනවා.

ඒවා ලබාදෙන්නේ පාරිභෝජනයට,ආයෝජනයට,ඉතිරිකිරීමට. නිෂ්පාදනයට සහ අපනයනයට.මේ පස්වැදෑරුම් වැඩ කේන්ද්‍රකරගෙන දුප්පත්කම තුරන්කිරීමේ වැඩසටහනක් දියත් කරනවා.එම රුපියල් විසිදහසක මාසික ආදායම වසර දෙකක් ලබාදෙනවා.ඒ මාස 24 තුළ සියලුදෙනා දුප්පත්කමින් මිදෙන තැනකටගෙන එනවා.මොනරාගල දිස්ත්‍රික්කයේ ආසන තුනේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහේම නිෂ්පාදන කර්මාන්තශාලා අපි ආරම්භකරනවා.වනඅලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබාදෙනවා.අධ්‍යාපනය ශක්තිමත් කරනවා.

රටේ තිබෙනවා පෙරපාසල් දාහත්දහස් නවසියදහයක්.ගුරුවරු විසිදෙදහසක් ඉන්නවා. සහාය පාලිකාවන් සමඟ.දරුවෝ දෙලක්ෂ අසූදාහක් ඉගෙනුම ලබනවා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි පටන්ගන්නේ.ගමේ නගරයේ පෙර පාසලෙන්. ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමින් ගුරුවරුන්ට නිසි තැන ලබාදීමට කටයුතුකරනවා.මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දෙසීයඅනූඑක සුහුරු පාසල් බවට පත් කරනවා.සෑම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත්කරනවා.දසලක්ෂයක් නව ව්‍යවසායකයින් බිහිකරනවා.

තරුණ පරපුරට නව ව්‍යවසායක අවස්ථා ලබාදෙනවා. කුඹුක්කන් ඔය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකකිරීම හරහා පානීය ජලය සහ වාරි ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදෙනවා. වැල්ලවාය උමාඔය ව්‍යාපාරයේ ඉතිරි වැඩ සම්පූර්ණ කරනවා.ඒ වැව් ජලයෙන් පුරවලා.කෙත් වතු සරුසාර කරලා.ගොවි ජනයා රජ කරවනවා.රනිල් වික්‍රමසිංහ,අනුර දිසානායක කල්ලිය ඕනෑකමින් බලා ඉන්නවා පැල්වත්තටයි සෙවනගලටයි වැඩේ දෙන්න.

සෙවනගල පැල්වත්ත කියන අපේ ජාතික සම්පත් අපි සුරකිනවා.ඒවා වෙන්දේසි කරන්නේ නැහැ.අලුත් ප්‍රාග්ධනය ලබාගෙන නව තාක්ෂණය ඔස්සේ එහි ලාභ ලබන තත්වය ඉහළට ගෙන එනවා.මේ සම්පත් වෙන්දේසි කරන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහේ තොරතුරු තාක්ෂණ උද්‍යාන එකොළහක් ආරම්භ කරණවා. තරුණ සංවර්ධන මධ්‍යස්ථාන එකොළහක් ආරම්භ කරනවා.

තරුණ පරපුරට නව තාක්ෂණය,ඉංග්‍රීසි භාෂා හැකියාව,පරිගනක විද්‍යාව,ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් වැනි අලුත් දැනුම තරුණ තරුණියන්ට ලබාදෙනවා.හැත්තෑ වසරක මේ රටේ දේශපාලන ඉතිහාසයේ බලයක් නැතිව වැඩක් කරපු එකම විපක්ෂය සමඟි ජන බලවේගය.හුස්ම සහ සක්වළ වැඩසටන් වලින් රුපියල් බිලියනයක් එනම් මිලියන දාහක වැඩ කරා අපි.ඒ නිසා මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම ගැන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ.

මේ ප්‍රදේශයේ වතු ප්‍රජාවගේ අයිතියත් අපි තහවුරු කළා.සියලු ජාතීන්ට, ආගම් වල අයට සමඟියෙන් ජීවත් වියහැකි ශක්තිමත් දේශයක් ගොඩනගනවා.සමහරු හදනවා භීෂණය වපුරන්න.ඒ අය උත්සාහ කරනවලු. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මරු පහරවල් එල්ල කරන්න.ඒ කිසිම දේකට බයවෙන්න එපා.

භීෂණය ක්‍රියාත්මක කරන සියලුදෙනා නීතිය හමුවට ගෙනඑනවා. මොනරාගල,බිබිල,වැල්ලවාය ආසන තුනේ.ගම් එක්දාස් තුන්සිය අසූවේ ජනතාවගේ වගකීම අපි භාරගන්නවා.රංජිත්,ධර්මසේන,ආනන්ද,හරීන්ද්‍ර ජයසිංහබණ්ඩාර මැතිතුමන්ලා ඇතුළු ආසන දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.ගමට යන්න නගරයට යන්න.මොනරාගල දිස්ත්‍රික්කයේ ජනවරම බය නැතුව ලබාදෙන්න.

රණසිංහ ප්‍රේමදාසගේ පුතාට මේ හයිය ලබාදෙන්න.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකරපු බාර් එක වහල දමන එක.ලැජ්ජා නැතුව පුදබිමෙත් බාර් ආරම්භ කළා.ඔබ සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව දුරකථනය දිනවන්න.සමඟි ජනබලවේගය දිනවන්න.රට සංවර්ධනය කරන්න.ඔබගේ වටිනා වරම ලබාදෙන්න.දුරකථනයට ජයවේවා.අපේ මාතෘ භූමියට ලක්ෂ 220 ජනතාවට ජයවේවා.



Recommended Articles