අපරාධකරුවන් 68ක් ඉන්ටර්පෝල් රතු නිවේදන


විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

මෙම රතු නිවේදනවලට අනුව විදේශ රටවලදී අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් පෙරේදා දිනයේ ඩුබායි රාජ්‍යයේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.

මෙම සතියෙහිදී මෙම තිදෙනා මෙරට රැගෙන විත් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් මේ ආකාරයට විදේශ ගත වී සිටින අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන   බවත් සඳහන් කළේය.

මේ වසරේ ගෙවීගිය කාලයෙහිදී වෙඩි තැබීම් සිද්ධි 11ක් වාර්තා වී තිබෙන  බවද  මීට අදාළව සැකකරුවන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරයි.

මෙම වෙඩිතැබීම්වලින් පහක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර තිබෙන බවත් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බවත් ඉතිරි වෙඩි තැබීම් හය පුද්ගලික හේතු මත සිදුවී තිබෙන බවත් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් කෙටිකාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අනුව සැකකරුවන් විසිදෙනෙකු, පිස්තෝල ගිනි අවියක් හා  ටී පනස් හය ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බවත්, මෙම  ටී පනස් හය ගිනි අවි වෙඩි තැබීම්වලට සම්බන්ධද නැද්ද යන්න විමර්ශන සිදුවන බවත් ඔහු  පැවසීය.

 



Recommended Articles