අනුරගෙන් ජනපතිට අභියෝගයක්


රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගෙන් එහිදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද, ඊට පෙර තමන් ඔහුගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන බව ද ඔහු කීවේය.ආනමඩුව නගරයේ ඊයේ (08දා) පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ඔහු මෙසේද පැවසීය.

ෙ"රනිල් මහින්දට හොරා කිව්වා. මහින්ද රාජපක්ෂට හොරා කියලා කිව්වේ ඇත්තට ද බොරුවට ද, දිනේෂ් ගුණවර්ධන රනිල්ගේ එක පන්තියේ යාලුවා, දිනේෂ් රනිල්ට හොරා කිව්වා. ඒ කිව්වේ ඇත්තටද බොරුවට ද කියලා කියන්න. ඔයා අරගොල්ලන්ට බොරු කිව්වා, ඒගොල්ලො ඔයාට හොරා කිව්වා, ඔයා ඒගොල්ලන්ට හොරා කිව්වා. අකිල විරාජ කාරියවසම් රනිල්ගේ උපදේශකයෙක්. එයාට රජයෙන් වැටුපක් ගෙවනවා, වාහන දීලා තියෙනවා.

මහජනයගේ සල්ලි තමයි ඒවට ගෙවන්නේ.  රනිල් ඔයා අකිලගෙන් ගත්ත එක උපදේශයක් මට කියන්න. සාගල රත්නායක රනිල්ගේ උපදේශකයෙක්. එයාට පඩි ගෙවන්නේ, තෙල් ගහන්නේ රජයේ සල්ලිවලින්. එයා ඔයාට දුන්න එක උපදේශයක් මට කියන්න. ඒ කඩඉම් විභාගය පාස් වුණොත් ඊළග ප්‍රශ්නවලට යමු" 

අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව එදිනම මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී  පැවැත්විණ. 

උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය ව්‍යර්ථ වූ බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය. එම ප්‍රකාශය සඳහා තමන් පිළිතුරු ලබාදීමට පෙර උතුරේ මන්ත්‍රීවරයෙකු වූ සුමන්තිරන් මහතා පිළිතුරු ලබාදුන් බව ද ඔහු කීවේය. 

ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, පෞද්ගලික අංශයට ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කරන බව ඔහු කීවේය. 

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය. 

“රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.

කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අප පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අප පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා.

ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්...” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.

මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා.

ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්‍රතිපත්තියයි.”



Recommended Articles