අනුර ජනාධිපති වුණොත් ඩොලරය රුපියල් 500ට යනවා


අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද?  අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි

අනුර  ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරාජය කරමින් ආර්ථිකය වට්ටන්න හදනවා

අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ

මා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරන අයුරින් මාලිමාවද සංඛ්‍යා දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුයි

ඒකා හොරා, මේකා හොරා කියමින් නොසිට ආර්ථිකය ආරක්ෂා කරන්නේ කොහොමද කියා වාද කරමු

සජිත් නොමිලේ දෙන ඒවට ගෙවන්න පුළුවන් ඇමරිකාවට විතරයි

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමා විමසා දින 03ක් ගත වුවද තමාට කිසිදු පිළිතුරක් ලැබි නැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරකා හොරා, මේකා හොරා කියමින් නොසිට රටේ ආර්ථිකය ආරක්ෂා කරන වැඩපිළිවෙළ ජාතික ජන බලවේගය රටට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවත් පරාජය කරමින් මෙරට ආර්ථිකය බිඳ දැමීමට සූදානම් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අසීරුවෙන් ගොඩනැගු ආර්ථිකය බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (13) පස්වරුවේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. 

පෙර පාසල් ගුරුවරුන් සඳහා විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

තමා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරනවා සේම මාලිමාවද සංඛ්‍ය දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සජිත් නොමිලේ ලබාදෙන බව පවසන දේට ගෙවිය හැක්කේ ඇමරිකන් රජයට පමණක් බවද සඳහන් කළේය.

එබැවින් ජනතාව මුලාවන්ට හසු නොවී රටේ ආර්ථිකය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රට ගොඩනැගීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ එක්විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"අද අප තවත් තීරණ දෙකක් ගත්තා. රටේ විදේශ විනිමය සංචිතය දියුණු වී තිබෙන නිසා වාහන ආනයන තහනම අපි ඉවත් කළා. ලබන වසරේ සිට ලංකාවට වාහන ගෙන්වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම බදු ගෙවන්නන්ගේ  මූලික බදු මට්ටම තිබුණේ ලක්ෂ 05ක් ලෙසයි. අප ඒ මට්ටම හත්ලක්ෂ විසි දහසකට වැඩි කළා. තමන්ගේ ආදායම් වැඩිවීමත් සමඟ තමන් ගෙවන බදු අඩුවීමක් සිදු වෙනවා. ඒ අනුව සෑම දෙනාටම සහනයක් හිමි වෙනවා.

අද මාලිමාව ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබා දෙනවා. ඔවුන්ගේ අය වැය රටේ ආර්ථිකය නැවත කඩා දමන අයවැයක්. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරද්දමින් රටේ ආර්ථිකය කඩන්න හදනවා. ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන සහාය නැති වෙනවා. එවිට නැවත ඩොලරය රුපියල් 500 දක්වා ඉහළ ගොස් ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා.

ඒ නිසා මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කළොත් 2022 මැයි මාසයට වඩා අසීරු තත්වයක් මෙරට ඇතිවන බව මම කිව යුතුයි. මම මෙහෙම කිව්වහම මට චෝදනා කරනවා මම ඔවුන්ට මඩ ගහනවා කියලා. මේක මඩක් නෙවෙයි, ජනතාව ජීවත් කරවීම් පිළිබඳ 
ප්‍රශ්නයක් අහන්නේ. මට අවශ්‍ය ඩොලරයේ අගය රුපියල් 275ක් කරන්නයි. ඒ දේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාරට කරන්න පුළුවන් නම් මගේ විරුද්ධත්වයක් නැහැ. ඒ නිසා මම ගණන් ඉදිරිපත් කරනවා වගේ ඔවුනුත් ගණන් ඉදිරිපත් කර රුපියල් ආරක්ෂා කළ හැකිද කියා ජනතාවට කිවයුතුයි.

අනුරව ජනාධිපති කර ඩොලරයට වැඩි මිලක් ගෙවන්න ඔබ සූදානම්ද, එහෙම වුණොත් ඔබ වෙස්සන්තරට වඩා අන්ත වෙනවා.

මම මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කළවිට අනුර මට වාදයකට කථා කළා. මම කිව්වා මම මේ ගැන වාද කරන්න ලෑස්තියි ඊට කළින් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා පැහැදිළි ස්ථාවරය කියන්න කියලා. සුනිල් හදුන්නෙත්ති සහ අනුර කුමාර අතර තිබෙන ප්‍රශ්නය විසදගෙන මට දැනුම් දෙන්න කියා මම කිව්වා.

ප්‍රශ්නය අහලා දින 03ක් වෙනවා. අද වන තුරු මට පිළිතුරක් නැහැ. ඒකා හොරා, මේකා හොරා කියන එක නෙවෙයි, වාද 
කළයුතුතේ මේවා පිළිබඳවයි. මුදල් හොයන්නේ කොහොමද, ආර්ථික ආරක්ෂා කරන්නේ කොහොමද කියලයි වාද කළයුත්තේ. ඒ නිසා මෙවන් පිරිසකට අනාගතය භාර දෙන්න බැහැ.අනිත් පැත්තෙන් සජිත් හැමදේම නොමිලේ දෙනවා කියනවා.

සජිත් ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. ඒ විදිහට ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්ද, එයා නොමිලේ දෙන ඒවට ගෙවන්න පුළුවන් ඇමරිකාවට විතරයි. වෙන කාටවත් බැහැ"



Recommended Articles