අනුප්‍රාප්තික ජනපතිවරයෙකුගේ උපරිම ධුර කාලය අවුරුද්දකට සීමා විය යුතුයි


කිසියම් අවස්ථාවක පාර්ලිමේන්තුවන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපති වරයකුගේ කාලය මාස හයක හෝ උපරිම වශයෙන් වසරක කාලයකට සිමා විය යුතු බවත්, ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ලේ දී පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පුජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ සංවිධානය සමග ගාල්ල බෞද්ධ මධ්‍යස්ථානයෙහි පැවැති මැතිවරණය සඳහා වූ සමාජ කතිකාවතකට එක් වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 4 අ ව්‍යවස්ථාව හි සඳහන් වන්නේ රජයේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාවගේ ජන්දයෙන් තේරී පත් වූ ජනාධිපති වරයා විසින් ක්‍රියාත්මක කළ යතුය යන්න බව අවධාරණය කළේය. පාර්ලිමේන්තුවෙන් පත්කළ ජනාධිපති රට යථා තත්වයට පත්කිරීමේ මූලික කටයුතු සිදු කළ යුතු බව එහි සඳහන් වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

යම්කිසි අවස්ථාවක තේරී පත්වන ජනාධිපතිවරයකුගේ හිස්වීමක් ඔහු පත්වී මස තුන හතරකදී සිදු වුවහොත් පාර්ලිමේන්තුවෙන් පත් කරන ජනාධිපතිවරයා වසර හතර හමාරක්ම රට පාලනය කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයේත් මහජන පරමාධිපත්‍යයේත් බිඳ වැටීමක් බවත් පෙන්වා දුන් ඒ මහතා වහාම මැතිවරණයක් පවත්වා අලුත් ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනිමට ඉඩසලසා දිය යතු යැයි කීය.ඔහු මෙසේද කීය.

“දැන් හොර ජන්ද දාන්න බෑ. ඒ ජන්දය දැමිමට හැඳුනුම්පත අත්‍යවශ්‍ය කිරිම නිසයි. හැබැයි මතක තියා ගතයුතු හා වහා ජනගත කළ යුතු දෙයක් වන්නේ හැඳුනුම්පත වෙනුවට දැන් නිකුත් කරන ස්ලිප් එක වලංගු නොවන බවයි.ඡන්දය නොදී සිටීම බරපතළ වරදක්. එසේ වුව හොත් ඡන්දය දුන් තුන් හතර දෙනකුගෙන් මන්ත්‍රීවරුන් බිහිවීම හා එය අනුමත කිරිමක්. ජන්ද පත්‍රිකාව කටු ගෑම ඉරි හැදීම නොකළ යුතුයි.  ඡන්ද පත්‍රිකාව යනු පරික්ෂණාගාරයක මීයකු නොවේ. එසේ නැතිනම් පහේ විභාගයට දෙන ප‍්‍රශ්න පත්‍රයක් නොවේ.

මැතිවරණ වියදම් පනතෙහි මුල් පිටපත අපි හැදුවේ. එහි සමහර තැන් වෙනස් වෙලා.අපේක්ෂකයකු හට ලැබෙන මුදල් හා වියදම් කරන මුදල් එක ගිනුමකින් සිදුකළ යුතුයි. යම් වරදක් සිදුවුව හොත් ඒ සඳහා නඩු දැමීමේ අයිතිය කොමිෂන් සභාවට ලබා දිය යුතුයි. 

යම් විධියකින් තේරි පත් වූ ජනාධිපතිවරයා මැතිවරණ වියදම් පනතේ වරදක් සිදු කළද ජනාධිපති මුක්තිය අනුව නඩු පැවරිය නොහැකියි. එවිට කළ යුත්තේ එය උපයෝගි කර ගෙන ඡන්ද පෙත්සමකට යෑමයි. 

එහෙත්  දැනට පවතින නිතිය අනුව අපේක්ෂක වියදම් ලේඛනය  දින 10 ක් තුළ ප්‍රසිද්ධ කළ යුතුයි.  ඒ සඳහා දින 31 ක් ගත වෙනවා.  ජන්ද පෙත්සමක් දැමිමේ කාලය දින 42ක් කළද නඩුවකට යෑමට ඇත්තේ දින 11 යි.මෙම කාලය තුළ නඩුවක් ගොනු කිරීම කළ නොහැකියි.” 

චන්දන සමරවික්‍රම



Recommended Articles