අන්තර්ජාලය හරහා මුදල් වංචාකර රු. කෝටි 5000ක් චීනයට යැවූ සැකකරුවන්ව චීනයෙන් ඉල්ලයි


අන්තර්ජාලය හරහා  රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයින් සිව්දෙනා චීන රජයට බාර දෙන්නැයි එම අපරාධයට අදාළව විමර්ශනය කිරමට පැමිණි  චීන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම රජයෙන් ඉල්ලා ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (24) දැනුම් දුන්නේය.

පැන් බින්කුවෙන්, සෙන් සුපෙන්, සිංසුලි සහ සැන් සුඩී යන සැකකාර චීන ජාතිකයින් මෙලෙස චීන රජයට භාර දෙන්න ලෙස චීනයෙන් පැමිණි විශේෂ විශේෂ පොලිස් කණ්ඩායම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයිද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මේ වන විට ඇප මත මුදාහැර සිටින චීන ජාතිකයින් සිව්දෙනා මෙන්ම අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැත්තා, කොළඹ තරුණිය සහ චීන, පාකිස්ථාන, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව, ඇල්ජීරියාව හා නේපාලය යන රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් ඇතුළු සැකකරුවන් 41 දෙනා අධිකරණයේ පෙනී සිටීයහ.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කරුණු දක්වමින් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙරටට පැමිණි  චීන පොලිසියේ  විශේෂ පොලිස් කණ්ඩායම විසින් විමර්ශන අවසන් කර අවසන් වාර්තාවත් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇතැයි කීය.

අන්තර්ජාලය හරහා  මුදල් වංචා කර චීනයට යැවීමේ අපරාධය මෙහෙය වූ බව කියන චීන ජාතිකයා සම්බන්ධ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇතැයිද රහස් පොලිසියය සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් නාගස්සේන මහතා ඇතුළු නීතිඥවරුන් කරුණු දක්වමින් තම සේවාදායකයින් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි විදේශ ජාතිකයින් යැයි කීහ.

විදේශිකයින් මෙලෙස අත් අඩංගුවට ගැනීම, සාක්ෂි නොමැතිව නඩු පැවරීම සංචාරක කර්මාන්තයට මරු පහරක් වන බව ද පෙන්වා දුන් නීතීඥවරු සාක්ෂි නොමැති සැකකරුවන් නිදහස් කර්නැයි ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේදී රහස් පොලීසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විදේශකයින් සම්බන්ධයෙන් ඇති සාක්ෂි මොනවාදැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් සැකකරුවන් සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇති බවත් එක් එක් සැකකරුවන් වෙනුවෙන් වෙන වෙනම විමර්ශන කරන බවත් පැවසීය .

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණය අමතමින් විදේශ සැකකරුවන් සම්බන්ධයෙන් වෙන වෙනම සාක්ෂි සම්පින්ඩන වාර්තා ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

මුදල් වංචාවට යොදාගත් බව කියන නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක 25 ක් ඇතුළු නඩු භාණ්ඩ 40 ක් පමණ රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර එම නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කරුණු සලකා බැලු මත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 16 වැනිදා ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කළේය.

 



Recommended Articles