අදත් මිලි මිටර් 100 ඉක්මවූ වැසි


අද (15දා) බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තද වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය  හැකි තාවකාලික තද සුළං වලින්  සහ අකුණු මඟින් සිදු වන අනතුරු  අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12 ක  පවුල් 34492කට අයත් පුද්ගලයන්  134484ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිවාස 241කට හානි සිදුව තිබෙන අතර පුද්ගල මරණ තුනක්  හා තුවාල ලැබීම් දෙකක්  වාර්තා වී ඇත. පවුල් 1753 කට අයත්  පුද්ගලයන් 6963 ක් ආරක්ෂිත කඳවුරු 81 ක රඳවා සිටින අතර ජල ගැලීම්,තදවැසි,තද සුළං හා නායයෑම් අවදානම නිසා මෙම පිරිස් පීඩාවට පත්ව තිබේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.  එම දිස්ත්‍රික්කයේ පවුල් 20553කට  අයත් පුද්ගලයන් 82839ක් පීඩාවට පත්ව සිටින අතර  කොළඹ දිස්ත්‍රික්කයේ  පවුල් 10914කට අයත් පුද්ගලයන් 40231ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ  පවුල් 1001කට අයත් පුද්ගලයන් 3623 ක්ද,  කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ  පවුලකට  අයත් පුද්ගලයන් 5 දෙනෙකුද,මන්නාරම් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 85ක්ද,  කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 98කට  අයත් පුද්ගලයන් 338 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1 කට අයත් පුද්ගලයන් 05ක්ද,  ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 4 කට අයත් පුද්ගලයන් 20ක්ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 30කට අයත් පුද්ගලයන් 110ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 6 කට අයත් පුද්ගලයන් 30ක්ද,  කූරුනෑගල දිස්ත්‍රික්කයේ පවුල්40කට  අයත් පුද්ගලයන් 150ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1749කට  අයත් පුද්ගලයන් 6841ක්ද පීඩාවට පත්ව සිටිති.

අධික වැසි හේතුවෙන් කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය සහ දැදුරු ඔය යන ප්‍රධාන හා අතු ගංලා පිටාර මට්ටමට පැමිණීමෙන් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් ඊයේ (14දා) යටවී තිබේ. මෙම තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් කඩුවෙල,මාබිම, නවගමුව, ඉහළගම, ජා ඇල, නාත්තන්ඩිය යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් විසින් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරනු ලැබිණ.
 
ඒ අනුව,ඊයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලයන් 641 දෙනෙකු වෙත ඩිංගි යාත්‍රා මඟින් ආරක්‍ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, පුද්ගලයන් 4876 දෙනෙකු වෙත පිසූ හා වියළි ආහාර බෙදාහැරීම සිදු විය.ජීවිත අවදානමට පත්වී සිටි පුද්ගලයන්  මුදවා ගැනීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාව මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුළ අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක්,දකුණු නාවික විධානය තුළ නවයක් සහ වයඹ නාවික විධානය තුළ දාහතක් වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හයක් නාවික හමුදාව සූදානමින් තබා ඇත.
 
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංගා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි යුද හමුදා භට පිරිස් යොදවා තිබේ. ඒ අනුව, පහත සඳහන් ස්ථාන වෙත සහන සේවා කටයුතු සඳහා කොළඹ දිස්ත්‍රික්කය සඳහා යාත්‍රා යුනි බෆල් .අයන්හෝස් වැනි උපකරන සමග භට පිරිස් අනුයක්ත කර ඇත.
 
මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇති විය හැකි හදිසි අපදා තත්වයකදි යෙදවීම සඳහා WMZ  රථ 23ක්,  යුනි බෆල් රථ හා යුනිකෝන් රථ 34 ක්‍, බෝට්ටු 56 ක් සමග 6500 පමණ භට පිරිස් ප්‍රමාණයක් සුදානම් කර සිටින බවද යුදහමුදා මුලස්ථානය සඳහන් කරයි. ගිනිකොන දිග බටහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය ඉදිරි දින 2 තුළදී  අඩු පීඩන කලාපයක් වට පත්වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුබේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කිරිමට නියමිතව තිබේ.මේ නිසා අද උතුරු අක්ෂාංශ  06-12 සහ නැගෙනහිර දේශංශ 81- 93  අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70), සමගින්  තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍ර දේශ ඉතා රළු විය හැක.

මේ නිසා මෙම මුහුදු ප්‍රදේශවලට  නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස  නාවික සහ ධීවර ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියි.කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව  මගින් මේ  සම්බන්ධව නිකුත් කරන  ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටියි. 


Recommended Articles